විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 100 ක අලාභයක්

(කොළඹ, ලංකාපුවත්) – ලංකා විදුලිබල මණ්ඩලයේ රුපියල් බිලියන 100 ක අලාභයක් පවතින බව විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“නමුත් මම කැබිනට් මණ්ඩලයත් සමග ඉතාමත් විනිවිද භාවයෙන් යුතුව කටයුතු කරලා, ඉදිරියේදී පත්වන විදුලිබල අමාත්‍යවරයෙකුට මෙවැනි ප්‍රශ්නයක් ඇතිනොව ආකාරයෙන් කටයුතු කරනවා. මම එක දෙයක් ස්ථිරවම කියනවා. නිෂ්පාදන වියදම කෙතරම් වුවත් ගෘහස්ත විදුලිබිල වැඩි කරන්න දෙන්නේ නැහැ. මොන බාධකයක් තිබුණත් අවම මිලක් යටතේ විදුලිය ජනනය කරන්න අපි ක්‍රියා කරනවා ” යැයි ඇමතිවරයා කියා සිටියේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ඊයේ (05) කුකුළේගග ජල විදුලිබලාගාරයේ වර්තමාන තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය පිළිබදව සොයාබැලීම සදහා සංවිධානය කළ නිරීක්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍ය නැගූ ප්‍රශ්න වලට පිළිතුරු සපයමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

“කුකුළේගග බලාගාරයේ වර්තමාන තත්ත්වයත් ආරක්ෂක තත්ත්වයත් ගැන බලන්නයි අද මේ නිරීක්ෂණ චාරිකාව යොදා ගත්තේ. මේ වනවිට අපේ විදුලිබලාගාර සහ ඒ ආශ්‍රිත සියළුම ස්ථානයන්ට දැඩි ආරක්ෂාවක් සපයලා තිබෙනවා. ඒ ආකාරයෙන් විධිමත් ආරක්ෂාවක් සැපයීම තමයි අවශ්‍ය වන්නේ.

ජනාධිපති, අගමැති, කැබිනට් මණ්ඩලය සහ මම, විදුලිබල මණ්ඩලයේ අදාළ නිලධාරීන්ට දැනුම්දීලා තිබෙනවා, එක තත්ත්පරයකටවත් විදුලිය නවත්තන්න එපා කියලා. ඒ වැඩපිළිවෙල තුළ ලං.වි.ම. නිලධාරීන් යම් අදහස් කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. මම ඒ සියල්ල කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. අපි විදුලිබලය පිළිබදව ප්‍රශ්නයකත් දන්නවා. ඒකට අදාල විසදුමත් දන්නවා. නමුත් කැබිනට් මණ්ඩලයේ කිහිපදෙනෙක් මේ පිළිබදව හරස් වෙලා තිබෙනවා. ලබන සතියේදී මේ සදහා අපි කැබිනට් මණ්ඩලයේ ස්ථිර විසදුමක් ලබා ගන්නවා.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින් නැති තැන කතාකිරීම තිබෙන තත්ත්වය තවත් අවුල් කරගැනීමක්. සමහර අය බොරදියේ මාලු බාන්න හදනවා. නමුත් මේ වනවිට රටේ ආරක්ෂාව, දක්ෂ ආරක්ෂක නිලධාරින්ට බාරදීලා තිබෙන්නේ. දක්ෂයන් ඉදිරියට ගෙනවිත් කටයුතු කිරීමට නොදීමත් අද අපේ රටේ විශාල ගැටළුවක් බවට පත්වෙලා තිබෙන්නේ.

පසුගියදා රටේ ඇතිවූ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් තව සතියකින් පමණ නිවැරදි වාර්තාවක් ඉදිරිපත් වේවි. එතකොට දැනගන්න ලැබෙයි මේ තත්ත්වයන්ට වගකිව යුත්තේ කව්ද කියලා. මේ හැමදේම කළේ පසුගිය ආණ්ඩුව කියලා, අපට ලේසියෙන් අත සෝදගන්න පුළුවන්. නමුත් මම ඒ වගේ ලාබාල වැඩ කරන්නේ නැහැ. හැමදෙනාම මේ තත්ත්වයට වගකිව යුතුයි. අපි කව්රුත් වැරදියි” යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *