තවුහිද් ජමාත් වත්කම් බිලියන 7ක්

(කොළඹ, ලංකාපුවත්) – තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් සතුව තිබූ වත්කම් වශයෙන් රුපියල් බිලියන හතක ප්‍රමාණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට සිදු කර ඇති පරීක්ෂණවලින් අනාවරණය කර ගෙන තිබේ. පසුගිය 21 වැනිදින බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් කිහිප දෙනා සතුව පමණක් රුපියල් මිලියන 140ක මුදල් ප්‍රමාණයක් තිබී ඇති බව සොයා ගෙන ඇත.

එම රුපියල් මිලියන 140ත ප්‍රමාණයෙන් මුදල් කොටසක් ඔවුන් සතුව තිබී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලබා ගෙන ඇති අතර, තවත් කොටසක් ඔවුන්ගේ ගිණුම්වල තිබී සොයා ගෙන ඇති බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා බිලියන හතක වත්කම් ඇතුළු මෙම සියලු මුදල් තහනම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ වන විට කටයුතු කර ගෙනයන බවද පවසයි.

මෙම මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් සතුව තිබු මෙතරම් මුදල් සහ වත්කම මොවුන්ට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් පරෙීක්ෂණ සිදු කරන අතර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන්ගෙන් ද ප්‍රශ්න කර ඇත.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්තවාදි කොට්ඨාසය මගින් තවුහිද් ජමාත් ත්‍රස්තවාදින් සහ මෙම මරාගෙන මැරුණ ත්‍රස්තවාදීන්ගේ ඥාතින් ඇතුළු සැකකරුවන් 73දෙනෙක් අත්අඩංගුවට ගෙන සිටියි.

මේ පිරිස අතරින් 54දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටිති. ඉන් 7දෙනෙක් කාන්තාවන්ය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය යටතේ ත්‍රස්තවාදින් 19දෙනෙක් සිටින අතර ඉන් 2නෙක් කාන්තාවෝ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයත් මෙම ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණකරගෙන යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *