අනවශ්‍ය බියක් ඇතිකර නොගන්න – යුද හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රිවිධ හමුදාව අවශ්‍ය සියලු ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති අතර ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරන බවත් අන්තවාදී සිදුවීම් සිදු කළ අය සහ එසේම අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමට සිටින අයවලුන් නීතියේ රැහැනට කොටු කරගැනීමට අවශ්‍ය සියලු නියෝග මේ මොහොත වනවිට ලබා දී තිබෙන බවත් යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි.

සිදු කළ ප්‍රකාශය මෙසේ ය.

” අප්‍රේල් 21 සිදුවීම වූ මොහොතේ සිට මේ මොහොත දක්වා යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය රටේ ආරක්ෂාව තර කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රමෝපායන් දියත් කර තිබෙන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමතියි.

හදිසි නීතිය යටතේ,ත්‍රිවිධහමුදාවන්ට අවශ්‍ය සියලුම බලතල රජය විසින් ලබා දී තිබෙනවා. ත්‍රිවිධ හමුදාව අවශ්‍ය සියලු ස්ථානවලට ආරක්ෂාව සපයා ඇති අතර ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කටයුතු කරනවා.

මෙම අන්තවාදී සිදුවීම් සිදු කළ අය සහ එසේම අන්තවාදී ක්‍රියාකාරකම් සිදු කිරීමට සිටින අයවලුන් නීතියේ රැහැනට කොටු කරගැනීමට අවශ්‍ය සියලු නියෝග මේ මොහොත වනවිට ලබා දී තිබෙනවා.

මේ වනවිට ජන ජීවිතය යථාතත්ත්වයට පත්වෙමින් පවතින බව සඳහන් කිරීමට කැමතියි.ජනතාවගෙන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ,අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙසත්,අසත්‍ය ප්‍රචාරවලට බිය නොවන ලෙසත්,ව්‍යාප්තවන අසත්‍ය ප්‍රචාර විචාර බුද්ධියකින් යුතුව තෝරා බේරා ගන්නා ලෙසත් ය.

ඔබගේ සුපුරුදු ජන ජීවිතයට එළඹෙන්න.ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඔබගේ ආරක්ෂාව සඳහා ඇප කැප වී සිටිනවා.වසර 30ක් පුරා පැවැති ලොව දරුණුතම ත්‍රස්තවාදය මුලිණුපුටා දැමීමට සමත් වූ ඔබගේ ත්විධ හමුදාව සහ පොලීසිය කෙරෙහි විශ්වාසය තබා ගන්න.රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඔබගේ ආරක්ෂාව සඳහා නිරතුරුව කැපවී සිටිනවා.ජනජීවිතය ඉතාමත් ඉක්මනින් සම්පූර්ණයෙන් ම යථතත්වයට පත් කිරීම සඳහා අපගේ ඒකායන පරමාර්ථයයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *