රට සාමකාමියි…ත්‍රස්තවාදය පරදවන්න සියලු දෙනා එක්වෙමු – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –ඉදිරි දින තුනක් ඇතුළත ත්‍රස්ත කල්ලිය මුළුමනින්ම අත්අඩංගුවට ගන්නා බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පා‍ර්ලිමේන්තුවේදී ඊයේ (07) අවධාරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව සඳහන් කෙළේ රට තුළ පවතින තත්ත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදය සඳහා ඊයේ පාර්ලිමේන්තුවේදී එක් වෙමිනි. තවදුරටත් ජනාධිපතිවරයා මෙසේද පැවසීය. බුද්ධි අංශ තොරතුරු අනුව ත්‍රස්තයන් විශාල ප්‍රමාණයක් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති බවත් සියයට සියයක්ම අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ත්‍රස්තයන් මුළුමනින්ම විනාශ කිරීමට ආරක්ෂක අංශ වලට තමන් උපදෙස් දුන් බවත් ඇතැමුන් විවිධ දේ සඳහාන් කළද හදිසි නීතිය මඟින් සියළු බලතල ආරක්ෂක අංශ වෙත ලබා දී ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කෙළේය.

ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් කටයුතු කිරීමේදී බෙදී වෙන් වී නොසිට සියලු දෙනා එක් විය යුතු බවත් සමාජය සන්සුන් කිරීම වෙනුවෙන් මාධ්‍ය වෙත ද සුවිශේෂි වගකීමක් මේ මොහොතේ දී පැවරෙන බවත් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

ත්‍රස්තවාදීන් සතුව පැවැති බෝම්බ නිෂ්පාදන අමුද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට පත්ව ඇති බව සංඛ්‍යා දත්ත සහිතව කරුණු ඉදිරිපත් කළ ජනාධිපතිවරයා , ත්‍රස්තවාදීන්ගේ පුහුණු කටයුතු සඳහා යොදාගත් නිවාස 13ක් බැංකු ගිණුම් 41 ක් , වාහන හා මුදල් රාජසන්තක කරන බවද සඳහන් කෙළේය. තිස් වසරක කුරිරු යුද්ධයකට මුහුණ දුන් රටක් ලෙස අප්‍රේල් 21 වැනිදා සිදුවීම පළමු වතාවට මෙරට සිදුවූවක් නොවන බවත් මෙරට සියළු ජනාධිපතිවරුන්ගේ පාලන සමයන් වලදී මෙවැනි බෝම්බ පිපිරීම් සිදු වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැඩිදුරරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *