සිනමා ශාලා මත්පැන් අලෙවි බලපත්‍ර අත්හිටුවයි

(කොළඹ, ලංකාපුවත්) – ජාතික චිත්‍රපට සංස්ථාව විසින්, සිනමා ශාලාවල මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා නිර්දේශ ලිපි නිකුත් කිරීම අත්හිටුවා ඇත.

මේ සඳහා ,ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ජාතික චිත්‍රපට සංස්ථාව ස්ථාපිත කිරිමෙන් පසු මුල් අවදියේ දී සිනමා ශාලාවල මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම සඳහා ජාතික චිත්‍රපට සංස්ථාව මැදිහත් නොවුවද පසුකාලීනව සිනමාහල්වල මත්පැන් අලෙවිහල් පවත්වා ගෙන යෑම සඳහා එම සංස්ථාවේ නිර්දේශ සහිත ලිපියක් සුරාබදු දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන ලදි.

සිනමා ශාලා තුළ මත්පැන් අලෙවිහල් ස්ථාපිත කිරීම මඟින් සිනමා ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහළ නැංවීමට අපේක්ෂා කළ ද මත්පැන් හා දුම්වැටි පානය කරන්නන් හේතුවෙන් අනෙකුත් ප්‍රේක්ෂකයින් අපහසුතාවයට ලක් වෙන බව නිරීක්ෂණය වී ඇති බව ද රජය පෙන්වා දෙයි.

ඒ අනුව ගුණාත්මක සිනමා සංස්කෘතියක් බිහි කිරීමේ පියවරක් ලෙසත් මතින් තොර රටක් ගොඩනැඟීම සඳහා වන ජාතික වැඩසටහනට දක්වන දායකත්වයක් ලෙසත් මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම දැනට ක්‍රියාත්මකව පවතින සිනමා ශාලා නවීන තාක්ෂණයෙන් සමන්විත කිරීම හා උසස් සිනමා කර්මාන්තයක් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම,වැසී ගිය සිනමා ශාලා නුතන සිනමා කර්මාන්තයට ගැලපෙන ආකාරයට ලුණාත්මක බවින් යුතුව යළි ස්ථාපිත කිරීමට සහ නව සිනමාහල් ආරම්භ කිරීමට සිනමාහල් හිමියන් අභිප්‍රේරණය කිරීමට ‘එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ‘ ජාතික වැඩසටහන යටතේ සහන ණය මුදල් ලබා දීමටද ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාවටද කැබිනට් අනුමැතිය හිමිවිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *