අන්තවාදී ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදන්න ඉඩ නෑ – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – ත්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරයි.

ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි. මෙහි දී ජනාධිපතිවරයා අවධාරණය කළේ අප්‍රේල් 21 වනදා සිදුවීම ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත්‍රස්ත ක්‍රියාවක් බවයි. මෙම ජාත්‍යන්තර ත්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැඟි සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එබැවින් රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව පළුදුවන ආකාරයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධවෙමින් ත්‍රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිවරයා රට තුළ ජාතික සමඟිය සහ සංහිඳියාව ශක්තිමත් කර ගැනීමට සියලුදෙනා කැප විය යුතු බව ද සඳහන් කළේය.

පසුගිය අප්‍රේල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ,සයින්දමර්දු ප්‍රදේශයට ඊයේ (08) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දි පළමුව නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් විය.

නැගෙනහිර පළාතේ මහජන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම ආරක්ෂක අංශ ප්‍රධානින් ද එක්ව සිටී එම හමුවේ දී ජනාධිපතිවරයා කියා සිටියේ ආරක්ෂක අංශවල සිදුකරන ලද පැහැදිලි ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කටයුතු මේ වන විට නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ ක්‍රියාත්මක වන බවත් එම වැඩපිළිවෙළ මඟින් සියලු පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් ය.

ත්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරද්දි මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් ජනතාව අතර බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැඟීමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

අප්‍රේල් 21 වනදා මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ ජීවිත පරිත්‍යාගයෙන් මව්බිම වෙනුවෙන් තම වගකීම් ඉටුකළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළ අතර මුස්ලිම් ජනතාව සමඟ සමීපව, කිසිදු චෝදනාවක් එල්ල නොවන අයුරින් ආරක්ෂක අංශ ඉටුකරන මානුෂීය මෙහෙවර ඇගැයීමට ලක් කළේය.

මෙහි දී අදහස් දැක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කළේ අපගේ ආරක්ෂක අංශ මේ වන විට මුස්ලිම් ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කරමින් එම ජනතාවගේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමින් සිටින බවත්, ආරක්ෂක අංශවල කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නොමැති බවත් ය.

ජනාධිපතිතුමා සයින්දමර්දු ප්‍රදේශයට පැමණීම වෙනුවෙන් සයින්දමර්දු ජුම්මා පල්ලියේ සභාපති වයි.එම්. හනිපා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

අනතුරුව ජනාධිපතිවරයා එම ස්ථානයේ දී ම ප්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමඟ හමුවකට එක් විය.

එහි දී ජනාධිපතිවරයා කියා සිටියේ ම්ලේච්ඡ ත්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බවයි.

අන්තවාදී ත්‍රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී තරුණ තරුණියන්ට පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලු සඳහා ලබාදිය හැකි සියලු විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි.

එම තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවධානව ඇහුම්කන් දෙනු ලැබීය.

හිස්බුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේ ආරම්භ කළ විශ්ව විද්‍යාලය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නීති රීති යටතේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස එය ඉදිරියට කරගෙන යාමට අපේක්ෂා කරන බවත්, එහිදී එම විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත්ය.

සයිනමරුදු ප්‍රදේශයට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව පැවසීය.

මෙම හමුවෙන් අනතුරුව පසුගිය අප්‍රේල් 26 වනදා සයින්දමර්දු ප්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා එම ස්ථානය ද නිරික්ෂණ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *