බ්‍රිතාන්‍ය රජ පවුලේ අලුත් සාමාජිකයා මී මිත්තණිය බලන්න යයි

(කොළඹ, ලංකාපුවත්) – ආර්චී හැරිසන් මවුන්ට්බැට්න්- වින්ඩ්සර් පළමු වරට වින්ඩ්සර් මාළිගයේ දී තම මී මිත්තණිය බැහැ දැක්කේය. අනතුරුව වාර්තාකරුවන් හමුවේ ඔහු හඳුන්වා දෙනු ලැබූ අතර හැරී- මේගන් යුවළ  තම ප්‍රථම දරු උපත හමුවේ ඉතා සතුටින් සිටින අයුරු දක්නට ලැබිණි.

අලුත උපන් බිළිඳාට රාජකීය සම්ප්‍රදායෙන් පිට යමින් නම් තැබීමෙන්ම හැරී-මේගන් යුවළ තම දරුවා “කුමරෙකු” ලෙස හදා වඩා නොගනු ඇති බව මේ වන විට ඉඟි පළවේ. දරු ප්‍රසූතිය ආසන්නයේ දී ඔවුන් පදිංචිය වෙනස් කිරීම ද මේ බවට සංඥා කරයි.

රාජකීය බිළිඳෙකුට නමක් තැබීම පිළිබඳව විශේෂයෙන් සැකසුණු නීතිරීති මාලාවක් නොමැති නමුත් බොහෝවිට සිදු වන්නේ සම්ප්‍රදායට තැන දෙමිනි. රජ පවුලට අලුත් සාමාජිකයකු එක් වූ සෑම අවස්ථාවකම ඔහුට හෝ ඇයට තබන නම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු වන අතර එය කොතෙක් ද කියන්නේ නම් ඒ සඳහා ඔට්ටු අල්ලන විශාල පිරිසක් ද වේ. සූදු ක්‍රීඩා වෙනුවෙන් පවතින ආයතන මේ සඳහා සූදානමින් සිටී.

අලුත උපන් බිළිඳාට බ්‍රිතාන්‍ය කිරුළට හිමිකම් කියන කුමර කුමරියන්ගේ ලැයිස්තුවේ හත් වන ස්ථානය හිමි වන අතර හැරී – මේගන් ගේ පුත්‍රයා රාජකීය කුමාරයෙකු ලෙස නම් කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව තීරණය ගනු ලැබිය යුත්තේ එලිසබත් රැජිණ විසින් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *