විනිසුරුවරු සංචාරය ගැන ප්‍රකාශය අසත්‍ය- ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) –අධිකරණ වි‍නිශ්චයකාරවරුන් කිහිපදෙනකු අප්‍රේල් මස 08 වැනිදා සිට 12 වැනිදා දක්වා ඇමරිකානු එක්සත් ජනපදයේ කළ සංචාරය සම්බන්ධයෙන් පසුගියදා (08) පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය සත්‍යයෙන් තොර දේශපාලන වාසි ලබාගැනීමට කළ ප්‍රකාශයක් ලෙස වගකීමෙන් ප්‍රතික්ෂේප කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරාල මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එහි මෙසේද සඳහන් වේ.

මෙම ප්‍රකාශය තුළ නම් සඳහන් කරමින් දක්වන ලද ඇමරිකානු තානාපති කාර්යාලයේ ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්‍රික් ජේ. එහෙලර් (Patrick j. Ehelers) මහතාට යම්කිසි සිත් වේදනාවක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ශ්‍රී ලංකා රජය සහ ගරු අධිකරණය වෙනුවෙන් මා කනගාටුව ප්‍රකාශ කරමි.

2017 වර්ෂයේ සිට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව මගින් මහජන මුදල් අවභාවිතය, දූෂණය හා මුදල් විශුද්ධිකරණය අවම කිරීම සහ බැහැර කිරීම සම්බන්ධව පවතින නීති පිළිබඳව අපේ අධිකරණ පද්ධතිය දැනුවත් කිරීම සඳහා අන්‍යෝන්‍ය සහයෝගිතාවයෙන් කටයුතු කිරීම ආරම්භ කර ඇත. ඒ අනුව ඉහළ අධිකරණයෙහි විනිශ්චයකාරතුමන්ලාටත් ඒ පිළිබඳ අවබෝධයක් ලබාදීමට වැඩමුළු ඇමරිකානු රජය මඟින් පවත්වා ඇත. 2018 අගෝස්තු 17 වන දින සිට අගෝස්තු 28 වන දින දක්වා ගරු විනිශ්චයකාරවරුන් දස දෙනෙකු (10), 2019 අප්‍රේල් 08 සිට අප්‍රේල් 12 වන දින දක්වා ගරු විනිශ්චයකාරවරුන් දහතුන් දෙනෙකු (13) කණ්ඩායම් දෙකක් වශයෙන් ඒ පිළිබඳ අවබෝධය සහ අධ්‍යයනය කිරීමට ඇමරිකානු එක්සත් ජනපදයේ සංචාරය කර ඇති අතර එහි වගකීම ඉහත සඳහන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ නීති උපදේශක පැට්‍රික් ජේ. එහෙලර් මහතා දරා ඇත. ඊට අමතරව ඔහු සංවිධානය කර ඇති වැඩමුළුවක් 2018 දෙසැම්බර් 17 – 18 යන දෙදින මහාධිකරණ විනිශ්චයකාරතුමන්ලා 65 දෙනෙකුට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පවත්වා ඇත.

මීට අමතරව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඉදිරි සති කිහිපයේදී එම වැඩසටහන සඳහා ඇමරිකානු එක්සත් ජනපදයට පිටත්ව යාමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eleven + seven =