හමුදාවෙන් ‍ඉවත්ව සිටි 11,000 ක් රට රකින්න යළි එක්වෙති

(කොළඹ, ලංකාපුවත්) –රටේ පවතින තත්ත්වය හමුවේ යුද්ධ හමුදාව සිදුකරන මෙහෙයුම්වලට සහායවීම සඳහා හමුදාවෙන් ඉවත්ව සිටි 11000 ක පිරිසක් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු යළි යුද්ධ හමුදාවට එක්ව සිටිති.

හමුදාවෙන් පලා ගොස් සිටි පිරිස්වලට යළි හමුදාවට එක්වන ලෙසට රජය මඟින් විවිධ කාලවලදී වරින්වර ඉල්ලීම් කර තිබිණි. එසේ යළි බාර නොවන පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්ද සිදුවිය.

ඒ අතර පසුගිය 22 වැනිදා එනම් පාස්කු බෝම්බ ප්‍රහාරය සිදුවූ දිනට පසු දින යළිත් හමුදාවට එක්වන ලෙසට හමුදාවෙන් පලා ගිය පිරිසට සහ නිවාඩු ගොස් යළි සේවයට වාර්තා නොකළ පිරිසට දැනුම් දී තිබිණි.

එම ඉල්ලීමත්, රට තුළ ඇති වී තිබෙන කලබලකාරී තත්ත්වය හමුවේ හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට එක්වීමේ අරමුණෙන් මෙතරම් විශාල ප්‍රමාණයක් මාසයක් වැනි කාලයක් තුළ හමුදාවට යළි වාර්තා කිරීම ඉතිහාසයේ මෙතෙක් සිදුනොවූ විශේෂම සිද්ධියක් බව යුද්ධ හමුදාව පවසයි.

යුද්ධ හමුදාවට අමතරව නාවික සහ ගුවන් හමුදාවලද නිවාඩු ගොස් යළි වාර්තා නොකළ විශාල පිරිසක් යළි වාර්තා කර තිබේ. මෙසේ දිගින් දිගටම හමුදාවට යළි එක්වීමේ ප්‍රවණතාවය වැඩිවෙමින් පවතින නිසා ඔවුන්ට ලබාදී ඇති සමා කාලය ලබන 17 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ. මෙසේ හමුදාවට යළි වාර්තා කළ සුළු පිරිසක් වයස අනුව හමුදාවෙන් ඉවත්වීමට බලාපොරොත්තුව ඇති බවත් සමස්තයක් වශයෙන් තරුණ ජවය ඇති හමුදා සාමාජිකයන් අතිවිශාල ප්‍රමාණයක් මෙසේ හමුදාවට යළි එක්ව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *