ත්‍රස්ත අරමුණුවලට ඉඩ දෙන්නේ නැහැ – අගමැති

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්ත අරමුණුවලට ඉඩ නොදී සාමය හා සංහිදයාව රැකගනිමින් රජයේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන යාමට පියවර ගත යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. හදවත් යා කරන රන්මාවත් වැඩසටහනේ සමාරම්භක උත්සවයට ඊයේ(12)එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

බෝම්බ පිපිරවීමෙන් ජීවිත විශාල සංඛ්‍යාවක් බිළිගෙන ජන ජීවිතය අඩාල කර රට අකර්මණ්‍ය කිරීම ත්‍රස්තවාදීන්ගේ අරමුණ වුවත් ඊට ඉඩනොදී සාමය හා සංහිදියාව ආරක්ෂා කර ගනිමින් රජයේ සංවර්ධන කටයුතු මෙන්ම පුද්ගලික අංශයේ ද එදිනෙදා කටයුතු ඉදිරියට ගෙන යෑමට වහා පියවර ගත යුතුව ඇතැයි වික්‍රමසිංහ මහතා පැවසීය.

මහා මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ සංකල්පයකට අනුව හදවත් යා කරන රන් මාවත් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය. රත්නපුර, මල්වල, ශ්‍රී පලාබද්දල මාර්ගයේ වැඩකටයුතු ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි. රත්නපුර නගරය පසුකර යාමේ දී මෙය විකල්ප මාර්ගයක් ලෙස භාවිත කළ හැකිය. මාර්ග තදබදය අවම කිරීමද අරමුණ වේ.

රත්නපුර, මුද්දුව දෙමුවාවත, නව පාලම ද අග්‍රාමාත්‍යවරයා අතින් මීට සමගාමීව ජනතා අයිතියට පැවරුණි. එම ස්ථානයේ තිබූ වසර 75කට වඩා පැරණි කම්බි පාලම වෙනුවෙන් මෙම නව පාලම මංතීරු දෙකකින් යුක්තව ඉදිකර තිබේ. 2016 වසරේ ඉදිකිරීම් ආරම්භ කර ඇති මෙම පාලම සදහා රුපියල් මිලියන 182 ක මුදලක් ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් වෙන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *