නවීන තාක්ෂණය මිනිසාගේ ප‍්‍රගමනයට මිස විනාශයට භාවිතා නොකළ යුතුයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –නවීන තාක්ෂණයේ විශිෂ්ටත්වය දැනුමෙන් සපිරි උගතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ ලෝකයක් බිහිකිරීම වෙනුවෙන් උපරිමයෙන් භාවිතයට ගන්නැයි ජනපති ඉල්ලයි.

නවීන තාක්ෂණය මිනිසාගේ ප‍්‍රගමනයට මිස විනාශයට කිසිවිටෙකත් භාවිතා නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේ ඊයේ (12) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති වැඩසටහනක් අමතමිනි.

“පිබිදෙමු පොළොන්නරුව“ දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනය මගින් රුපියල් මිලියන 2500ක් වැයකර කි‍්‍රයාත්මක කළ ව්‍යාපෘති ගණනාවක් ජනතා අයිතියට පවරාදීම අද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. එමෙන් ම පොළොන්නරුව නගරය මෙරට ප‍්‍රථම සුහුරු නගරය ලෙස ප‍්‍රකාශයට පත් කිරීම ද අද ජනාධිපතිතුමා අතින් සිදු විය.

පොළොන්නරුව දීප උයනේ 5G සංනිවේදන කුලුන විවෘත කිරීම හා හබරණ පොළොන්නරුව මාර්ගයේ දැනට පවතින සන්නිවේදන දුබලතා මග හැරවීම සඳහා වූ සන්නිවේදන කුලුන විවෘත කිරීම පළමුව ජනාධිපතිතුමා අතින් සිදු විය.

මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් පොළොන්නරුව නගරයේ ඉදිකරන ලද වෙළෙඳ සංකීර්ණය ඉන් අනතුරුව ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

කඩ කාමර 18 කින් සමන්විතව අංග සම්පූර්ණ වෙළෙ`ද සංකීර්ණයක් ලෙස මෙය ඉදිකර තිබෙන අතර වැයකර ඇති මුදල රුපියල් මිලියන 44කි. තමන්කඩුව හිටපු දිසාපතිවරයාට අයත් ඉතා පැරණි නිලනිවස සංස්කෘතික දේපලක් ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ගැනීමෙන් අනතුරුව කඩා ඉවත් කළ නොහැකි මෙම ගොඩනැගිලි සංකීර්ණය එහි සංස්කෘතික අනන්‍යතාව ආරක්ෂාවන පරිදි ප‍්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව දෙස් විදෙස් සංචාරයකයන් ඉලක්ක කර ගනිමින් නව වෙළෙඳ සංකීර්ණයක් ලෙස නිර්මාණය කර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර වෙළෙඳ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වූ අතර සංකේතවත්ව කඩකාමර හිමියන් වෙත කඩකාමර පවරාදීමට ද එක් විය. එම වෙළෙද සංගමේ නියෝජිතයන් විසින් ජනාධිපතිතුමා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්වීය.

ඉන් අනතුරුව නවීන තාක්ෂණික පහසුකම් සහිතව නවීකරණය කළ පොළොන්නරුව ප‍්‍රාදේශීය ශ‍්‍රී ලංකා ටෙලිකොම් කාර්යාලය ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි. නව කාර්යාලයේ දී පළමු ගනුදෙනුකරු වෙත අන්තර්ජාල සම්බන්ධතාවය ලබාදීම සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. වැඩිදියුණු කරන ලද ඇමතුම් මධ්‍යස්ථානය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

අනතුරුව පොළොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ පැවති උත්සවයේ දී දිස්ති‍්‍රක්කයේ පාසල් 110ක් සඳහා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදීම සිදු කෙරිණි. එය සංකේතවත් කරමින් පාසල් 10ක් සඳහා ප‍්‍රධාන පත‍්‍ර ලබා දීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මොබිටෙල් ආයතනය මඟින් නොමිලේ ලබා දී ඇති ග‍්‍රාමීය අන්තර්ජාල පහසුකම් යටතේ නවගිනිදමන මහා විද්‍යාලයේ දරු දැරියන් උත්සව සභාවට සජිවීව සම්බන්ධ කර ගනිමින් ජනාධිපතිතුමා උත්සව සභාව ඇමතූ අතර එහිදී වැඩිදුරටත් කියා සිටියේ මෙම සියලු පහසුකම් ලබා දෙනුයේ දරුවන්ට නවීන ලෝකයේ දොරගුළු විවිර කර දීම වෙනුවෙන් බවයි. නවීන තාක්ෂණයේ යහපත් පැතිකඩ පමණක් භාවිතයට ගනිමින්, ලෝකය දිනු දරු පරපුරක් රට තුළ බිහිවනු දැකීම අරමුණ බව ජනාධිපතිතුමා කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර වසන්ත සේනානායක, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ දිස්ති‍්‍රක් ලේකම්, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු රජ්‍ය නිලධාරින් ද ශ‍්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතා සහ එහි අධක්ෂ මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මින් අනතුරුව ජනාධිපතිතුමා ඉදිකෙරෙමින් පවතින පොළොන්නරුව කෞතුකාගාරයේ කටයුතු නිරික්ෂණය කිරීමට ද එක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *