වයඹ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කණගාටුව

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ වයඹ පළාතේ සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කණස්සල්ල පළ කර තිබේ.

නොසන්සුන් වාතාවරණය හට ගැනීමත් සමග එය මැඩ පැවැත්වීමට කඩිනමින් ආරක්ෂක අංශ යෙදවීමට රජය ගත් පියවරත් මෙහිදී ඔවුන් විසින් අගය කොට ඇත.

රජය, විපක්ෂය ,සිවිල් සංවිධාන, ආරක්ෂක අංශ , සර්ව ආගමික කණ්ඩායම් සියල්ල එක්ව මෙම තත්ත්වය නතර කර ගැනීමට පියවර ගත යුතු බවත් ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටියි.

එසේ නොවුණහොත් පවතින තත්වය උග්‍ර වනු ඇති බවටද එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවයි. ශ්‍රී ලංකාවේ මේවන විට පවතින කම්පනකාරී කාල පරිච්ඡේදයෙන් ඉදිරියට ගමන් කිරීමට උත්සාහ දරන මොහොතක මෙවැනි නොසන්සුන්කාරී තත්ත්වයන් ඇති වීම තුළින් ශ්‍රී ලංකාව යළි පසුපසට ඇඳ දැමීමක් සිදුවන බව ද පෙන්වා දෙයි.

මෙම සිදුවීම් සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා වරදකරුවන් වුවහොත් නීතිය උපරිමයෙන් ක්‍රියාවට නංවන ලෙසටද එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට දැනුම් දීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *