සාමය රකින්න පොලිසියට-හමුදාවට සහාය දෙන්න

(කොළඹ, ලංකාපුවත්) –රටේ සාමය බිඳදමන්නන්ටත්, හදිසි නීතිය හා ඇදිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්ෂික අංශ වෙත පවරා දී තිබෙන බවත් සාමය ආරක්ෂා කිරීමට පොලිසියට සහ ආරක්ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් ඉල්ලා සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් කරමින් අවධාරණය කළේය.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ.

ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් ලෙස පාස්කු ඉරිදා අමානුෂික ප්‍රහාරයක් එල්ල වුණා. ඒ ප්‍රහාරය පිළිබඳ විමර්ශන කටයුතු අපේ ආරක්‍ෂක හමුදා ඉතා සාර්ථක ලෙස සිදු කරමින් යනවා. ඊට සම්බන්ධ බොහෝ පාර්ශ්වයන් නීතියේ රැහැනට හසු කර ගැනීමට අපට පුළුවන් වුණා. තත්ත්වය පාලනය කර ගැනීමටත් ආරක්‍ෂක අංශවලට හැකි වුණා.

නමුත් රටේ සාමය බිඳ වැටී, ජාතිවාදී ප්‍රශ්න ඇති වුවහොත් රට අස්ථාවර වෙනවා. මේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් නිසා ආරක්‍ෂක අංශවලට තම විමර්ශන කටයුතු නිසියාකාරව සිදු කිරීමට බාධා පැමිණෙනවා. තැන තැන කලබල ඇති වීමේ ප්‍රතිඵලය වන්නේ වෙසක් උත්සවයත් කඩා කප්පල් කිරීමයි.

වයඹ පළාතේ ස්ථාන කිහිපයක මේ කණ්ඩායම් කලබල ඇති කිරීමට උත්සාහ කළා. දේපොළ හානි කළා. දැන් පොලිසියත්, ආරක්‍ෂක හමුදාවත් ඒ තත්ත්වය මැඩපවත්වා තිබෙනවා. තවත් තැන තැන කලබල ඇති කිරීමට මේ කණ්ඩායම් උත්සාහ කරනවා.

මේ අවස්ථාවේ කලබල ඇති කිරීමේ අරමුණ පොලිසිය සහ ආරක්‍ෂක හමුදා අපහසුතාවට පත් කිරීමයි. ජන ජීවිතය කඩාකප්පල් කිරීමයි. රට අස්ථාවර කිරීමයි.

මේ නිසා රට පුරා ඇඳිරි නීතිය පනවන්නට රජය තීරණය කළා.

රටේ සාමය බිඳ දමන්නන්ටත්, හදිසි නීතිය හා ඇඳිරි නීතිය කඩකරන්නන්ටත් විරුද්ධව දැඩි පියවර ගැනීමට සම්පූර්ණ බලතල ආරක්‍ෂක අංශ වෙත මම පවරා දී තියෙනවා. නීතිය කඩකරන්නන්ට එරෙහිව තදින් කටයුතු කිරීමට ආරක්‍ෂක අංශ සියලු පියවර ගන්නවා.

ඒ නිසා සාමය ආරක්‍ෂා කිරීමට පොලිසියට සහ ආරක්‍ෂක හමුදාවලට උපරිම සහාය ලබාදෙන මෙන් මම ඉල්ලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *