ධීවර සංස්ථාවෙන් නව වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – කිසිදු අතර මැදියකුගෙන් තොරව ,ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් මාළු ධීවරයාගෙන් වැල්ලේදීම මිලදී ගෙන ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙලක් ධීවර සංස්ථා මගින් ආරම්භකිරීමට කටයුතු යොදා ඇත.

අදාළ නව වැඩපිළිවෙල මගින් අතර මැදියන් වෙත ලැබෙන විශාල කොමිස් මුදලක් ඉතිරි කර ගැනීමට සේම , අඩු මුදලට ජනතාවට මාළු ලබාදීමේ හැකියාව ලැබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා කියයි.

ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති , කළමණාකාර අධ්‍යක්ෂ සහ සියලු අංශ ප්‍රධානීන්ගේ අතර මේ පිළිබඳව සාකච්ඡාවක්ද පැවැත්විණි.

මෙම සාකච්ජාවේදී තීරණය කෙරුනේ ධීවර සංස්ථාවට මාළු ලබාගැනීමේ ක්‍රමවේදය පුළුල් වෙනසකට ලක් කරමින් කිසිදු අතර මැදියකුගෙන් තොරව සෘජුවම ධීවර ජනතාවගෙන් වැල්ලේදීම අවශ්‍ය මාළු තොග මිලදී ගැනීමටය .

එහිදී අනාවරණය වුයේ ඇතැම් අවස්ථාවලදී අතරමැදියන්ගේ මැදිහත් වීම නිසා කිලෝවකට රුපියල් තිහත් හතලිහත් අතර මුදලක් කොමිස් ලෙස ගසාකෑමට ලක්වන බවය . සෘජුවම වැල්ලේදී ධීවරයාගෙන්ම මාළු මිලදීගැනීම මගින් එම කොමිස් මුදල ඉතිරි කර ගැනීමේ වාසිය ජනතාවට ලබාදීමට ද මෙහිදී තීරණය කෙරිණ .

විදිමත් වැඩපිළිවෙලක් යටතේ විනිවිද භාවයකින් යුක්තව අදාළ කටයුතු සිදුකිරීම සදහා අධීක්ෂණය සදහාම නිලධාරීන් යෙදවීමටත් , ගෙවීම් කර විගණනය කිරීම වෙනුවට රජයේ පිළිගත් මුදල් ප්‍රතිපත්තිය අනුව ගෙවීමට පෙර අදාළ කටයුතු නිසි ලෙස සිදුව ඇති බවට වන විගණනයට ලක් කර ,අදාල ගෙවීම් සිදු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී තීරණය කර ඇත. මසුන් මිලදී ගැනීම ඇතුලු ක්‍රියාපටිපාටියේදී සිදු විය හැකි අක්‍රමිකතා පාලනය කරගැනීම මෙම වැඩපිළිවෙලේ මුලික අරමුණය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *