ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂ ගිවිසුම් 03කට එළැඹීමට චීනය සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – චීනය ශ්‍රී ලංකාව තුළ සිදු කරන සුවිශාල ආයෝජන සහ රටේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන ඉතා වැදගත් සුවිශේෂ ගිවිසුම් 03කට එරට එක් දින නිල සංචාරයක යෙදෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන රජය අද දිනයේ දී අත්සන් තැබීමට නියමිතය.

වසරක් පාසා වැඩිම සංචාරකයන් පිරිසක් චීනයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකාවේ විශාලම ආයෝජන අවස්ථාවන් ද චීනය මඟින් ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම ගිවිසුම් ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ චීන ජනාධිපති ෂී ජින්පින් මැතිතුමා අතර පැවති නිල හමුවේ දී 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට සහ සියලු ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන තිබෙන ආරක්ෂක විධිවිධාන පිළිබඳ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් විය.

මේ අතර ජනාධිපතිතුමා කළ විශේෂ ඉල්ලීමක් පරිදි ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා ජීප් රථ 100ක් වහාම ශ්‍රී ලංකාවට ලබාදීමට ද චීන රජය එකඟතාවය පළ කර තිබේ.

මීට අමතරව චීනයේ බීජිං නගරයේ දී හෙට පැවැත්වෙන ආසියානු ශිෂ්ටාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී ජනාධිපතිතුමා රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ රටේ අනාගතය වෙනුවෙන් ගන්නා වූ සුබවාදී තීරණ ජාත්‍යන්තර නායකයන් ඉදිරියේ පැහැදිලි කරනු ඇත.

රාජ්‍ය නායකයා ලෙස, පසුගියදා රටේ ඇති වූ ව්‍යාකූල තත්ත්වය ඉතා හොඳින් කළමනාකරණය කරමින් තිබෙන පරිසරයක ශ්‍රී ලංකාවේ ආයෝජනය කළ සහ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී පැහැදිලි කිරීමට නියමිතය.

අන්තවාදී කණ්ඩායම්වල පටු අරමුණුවලට ඉඩක් නොතබා නීතිය තදින් ක්‍රියාත්මක කරමින්, රටේ සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු තින්දු තීරණ ජනාධිපතිතුමා විසින් ගෙන තිබෙන අතර එම වගකීම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරින්ට බලය පවරා ඇති තත්ත්වය ද ජනාධිපතිතුමා මෙහි දී ලෝක නායකයන් හමුවේ පැහැදිලි කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *