පාස්කු ඉරිදා ප්‍රහාරයේ ගැන සිදුවන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක්

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය 21 වැනිදා සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධව සිදු කෙරෙන පරීක්‍ෂණවල විශාල ප්‍රගතියක් මේ වනවිට අත්කර ගෙන තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කෙටි කාලයකින් එවැනි ප්‍රගතියක් අත්කර ගැනීමට හැකිවීම ගැන විදේශ ආයතන පවා මවිතයට පත්ව සිටින බව අද (15) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී පැවසීය.

ඇල්ෆ්‍රඩ් දොරේ අප්පා ඝාතනය සිදුවී ප්‍රභාකරන්ට විරුද්ධව සාක්‍ෂි සොයාගැනීමට හැකි වූයේ වසර 20 කට පසුව බව සිහිපත් කළ වික්‍රමසිංහ මහතා පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී මාසයක් ගතවීමටත් පෙර ඊට සම්බන්ධ ත්‍රස්තයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවත්, රට තුළ අර්බුද නිර්මාණය කිරීමෙන් එම පරීක්‍ෂණ කටයුතුවලට බාධා ඇති විය හැකි බැවින් ඉවසීමෙන් ක්‍රියා කර ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබාදෙන ලෙස තමන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද අරලියගහ මන්දිරයේදී පැවැති එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ ක්‍රියාකාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදීය.

එක්සත් ජාතික පක්‍ෂ සන්නිවේදන බලකායේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් සංවිධානය කර තිබූ එම සාකච්ඡාවට සන්නිවේදන බලකායේ අධ්‍යක්‍ෂ මණ්ඩල නියෝජිතයින්, පළාත් අධ්‍යක්‍ෂකවරු, දිස්ත්‍රික් ලේකම්වරු සහ දිස්ත්‍රික් නීති ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගීව සිටි අතර, එම බලකායේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුනි.

එම සාකච්ඡාවේ දී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“ඉරිදා රාත්‍රියේ රටේ විවිධ ප්‍රදේශවල ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා සඳුදා වන විට පාලනය කරමින් නැවතත් රට තුළ සාමාන්‍ය තත්වයක් ඇති කිරීමට මේ වන විට අපට හැකිවී තිබෙනවා. රටේ සාමය ආරක්‍ෂා කිරීමට අවශ්‍ය පියවර ගැනීමට සම්පූර්ණ බලතල අපි ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ලබාදුන්නා. ඒ අනුව සාමය ආරක්‍ෂා කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ගත් පියවර සහ කළ කැපකිරීම් වෙනුවෙන් මම ඔවුන්ට ස්තූතිවන්ත වනවා.

රට තුළ මෙවැනි ප්‍රචණ්ඩක්‍රියා ඇති කිරීම හරහා සිදු වන්නේ අයි.එස් ත්‍රස්තවාදය පිළිබඳව සිදු කරමින් පවතින පරීක්‍ෂණ කටයුතු ප්‍රමාදවීමයි. මේ වන විට එම පරීක්‍ෂණ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. පොලීසිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, බුද්ධිඅංශය විසින් අදාළ තොරතුරු සොයා ගනිමින් පරීක්‍ෂණ සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටිනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × five =