නීතිය කඩකරන්නන්ට දැඩි දඬුවම්

(කොළඹ, ලංකාපුවත්) –රට තුළ පවත්නා නීතිවලට පටහැනිව ක්‍රියා කරමින් නීතිය අතට ගෙන ක්‍රියා කරන පුද්ගලයන්ට හෝ පුද්ගල කණ්ඩායම්වලට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියා කරමින් යෙදිය හැකි උපරිම බලය යොදවන ලෙසට පොලිස් මූලස්ථානය මඟින් දිවයිනේ සියලුම පොලිස් ප්‍රධානීන්ට පෙරේදා ලිඛිතව දැනුම් දී තිබේ.

දිවයිනේ විවිධ ප්‍රදේශවල නොසන්සුන්කාරී සිද්ධීන් ඇති කරමින් මහජනතාවට සහ දේපළවලට හානි සිදුකරමින් පුද්ගල කණ්ඩායම් කිහිපයක් කටයුතු කරගෙන යන බවට මේ වනවිට හෙළිදරව් කරගෙන තිබේ. ඉදිරියේදී කුමන ප්‍රදේශයක හෝ එවැනි නොසන්සුන්කාරී කලහකාරී සිදුවීම් ඇති වුවහොත් එවැනි අවස්ථාවක පොලිසිය විසින් උපරිම බලය යොදා ඔවුන් මර්දනය කිරීමටත්, ගුවන් හමුදාව මඟින් දිවා රාත්‍රී නොබලා හමුදා භට පිරිස් හෙලිකොප්ටර් මඟින් එම ප්‍රදේශවලට ගොඩබස්සා කලහකාරීන් අත්අඩංගුවට ගනිමින් ඔවුන් මර්දනය කිරීමටත් එරියල් ක්‍රමය ඔස්සේ හෙලිකොප්ටර්වල සිටම කලහකාරීන්ගේ ඡායාරූප රූපගත කිරීමටත් ගුවන් හමුදාව පියවරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතා පවසයි.

තවද නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු, සහකාර පොලිස් අධිකාරිවරුන් අටදෙනා බැගින් සමන්විත කණ්ඩායම්ද ප්‍රදේශ ගණනාවකට යවා තිබේ.

පසුගිය දින දෙක තුළ මිනුවන්ගොඩ සහ වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයකම සිදුවූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් සම්බන්ධයෙන් මිනුවන්ගොඩින් 14 ‍දෙනෙකුද, වයඹ පළාතෙන් 60 දෙනෙකුද සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී 30 කට අධික පිරිසක් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්කර ඇත.

තවද මෙහිදී විශේෂයෙන්ම මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකු සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී ඔවුන්ගේ සෑම අවශ්‍යතාවයක් සඳහාම පොලිස් වාර්තා ලබාදීමේදී සහ විදේශ රටවලට යාමට අවශ්‍ය පොලිස් සහතික නිකුත් කිරීමේදී ඒවායේ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයකු බව අනිවාර්යයෙන්ම සඳහන් වන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ අතර වයඹ පළාතට ඊයේ දින පනවා තිබූ ඇඳිරි නීතිය පස්වරු 6.00 ට නැවත පනවා අද උදේ 6.00 වන තෙක් ක්‍රියාත්මක විය. මිනුවන්ගොඩ ප්‍රදේශයට පනවා තිබූ ඇඳිරි නීතිය ඊයේ පස්වරු 6.00 සිට අද පෙ.ව.6.00 දක්වාද දිවයිනේ සෙසු ප්‍රදේශවලට පනවා තිබූ ඇඳිරි නීතිය යළිත් ඊයේ රාත්‍රී 9.00 සිට අද අලුයම 4.00 වන තෙක් ක්‍රියාත්මක විය.

මේ අතර අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ඔස්සේ කරගෙන ගිය තුන්දෙනෙක් මාතර ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *