ෂර්ලි, රූපවාහිනියෙන් ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ධූරයට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු අධ්‍යක්‍ෂ ප්‍රවෘත්ති ෂර්ලි අනිල් ද සිල්වා මහතා පසුගිය සඳුදා (13) සේවයෙන් විශ්‍රාම ගනු ලැබීය.

ඔහු වසර 36ක තම සේවා කාලය තුළ ප්‍රශස්ත මාධ්‍ය මෙහෙවරක නිරත වූ පුරෝගාමී ජනමාධ්‍යවේදියෙකි.1983 වසරේ දී පුහුණුවන නිෂ්පාදන සහකාරවරයෙකු ලෙස ජාතික රූපවාහිනී ප්‍රවෘත්ති අංශයට ෂර්ලි අනිල් ද සිල්වා මහතා එක් විය. ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදකවරයෙකු ලෙස විවිධ කුසලතා පළ කළ ඔහු, යුද බිමේ පුවත් වාර්තා කළ පළමු මාධ්‍යවේදියා ද වේ.

පසු කාලීනව ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ධූරය හෙබ වූ ඔහුට එක්සත් ජාතීන්ගේ වාර්ෂික සැසිවාරය, පොදු රාජ්‍ය මණ්ඩලීය වාර්ෂික සැසිවාර වැනි ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර ඉසව් වාර්තාකරණයට අවස්ථාව හිමිවිය.

මෙරට පළමු විධායක ජනාධිපති ජේ.ආර. ජයවර්ධන මහතාගේ සිට වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දක්වා රාජ්‍ය නායකයන්ගේ සාකච්ජා හා ප්‍රවෘත්ති ආවරණ ඉටු කිරීමේ විරල අවස්ථාව ද ඒ මහතාට හිමිවිය.

එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ ප්‍රවෘත්ති සාකච්ජාවක් ද ඔහු විසින් වාර්තා කරනු ලැබීම විශේෂත්වයකි.

ෂර්ලි අනිල් ද සිල්වා මහතා දැන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂවරයා ලෙස පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *