ඉරානය සමග යුද්ධයකට යෑමට අදහසක් නැහැ – අමෙරිකාව

(කොළඹ, ලංකාපුවත්) – ඉරානය සමග යුද්ධයකට යෑමට කිසිදු අදහසක් නැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඔ පවසයි. ඉරානය සමග අර්බුදයක් පවතින බව පිළිගන්නා නමුත් ඉරානය සමඟ හෝ වෙනත් කිසිදු රටක් සමඟ යුද වැදීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසක් නොමැති බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

රුසියාවේ මොස්කව් අගනුවර දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමු වූ අවස්ථාවේ දී අමෙරිකානු රාජ්‍ය ලේකම් වරයා මේ බව පවසා තිබේ. මෙම හමුවේ දී ජාත්‍යන්තර අර්බුද රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා රැසක් සිදු කළ බව වාර්තා වේ. ඒ අතර උතුරු කොරියානු අර්බුදය, ඉරාන- අමෙරිකා අර්බුදය ද වේ.

රුසියාවේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇමෙරිකාව රුසියාව ඇතුළු ලෝක බලවතුන් මැදිහත් වී ඇති කරගත් එකඟතාවෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු කළ අතර අමෙරිකාව විසින් ඉරානයට සම්බාධක පැනවීය.

ඉරානය ද කිසිම අවස්ථාවක ඇමෙරිකාව සමඟ යුද්ධයකට පැටලෙන්නේ නැති බව ඉරාන උත්තරීතර නායක අල් කොමේනී ද පවසා ඇත. මේ අතර සෞදි සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ තෙල් නැව් කීපයකට පසුගිය දා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය එල්ල කළේ කවුරුන්දැයි මෙතෙක් අනාවරණය වී නැති නමුත් ඉරානයට චෝදනා එල්ල වෙමින් පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *