එකමුතු වෙලා රටක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕනා – ඇමති රවී

(කොළඹ, ලංකාපුවත්) – “එකම රටක්, එකම ජාතියක්, එකම නීතීයක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුයි “යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඇමතිවරයා මෙම අදහස් පළකළේ, අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතවී ප්‍රතිකාර ලබන, පුජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන්ගේ සුවදුක් විමසීමට කොළඹ පෞද්ගලික රෝහලකට අද (16) පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී මාධ්‍ය වලින් නැගූ ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ….

සාමකාමීව ගමන් කරන්න අවශ්‍ය අවස්ථාවක, යම් අය විසින් ජනතාව කුපිත කරලා ප්‍රශ්ණ ඇති කරනවා. දේශපාලඥයෝ හැංගි හොරා ඇවිත් ජනතාව උසිගන්වලා තියෙන ආකාරය ලැජ්ජා සහගතයි. අද රටේ නිසි දේශපාලන නායකත්වයක් නැතිබවක් තමයි පෙනෙන්නේ. හැම පක්ෂයකම තත්ත්වය මේකයි. ඉතින් මේ තත්ත්වය තුළින් කොහොමද අපි රටක් සාමකාමීව ඉදිරියට ගෙනියන්නේ. සියලු දෙනාම ඒකරාශි වෙලා ශ්‍රී ලංකාව ගැන හිතලා, එකමුතුව සාමකාමීව කටයුතු කරන්න අවශ්‍ය වෙලාවයි දැන් ඇවිත් තියෙන්නේ.

මෙහිදී සිංහල බෞද්ධ අය තුළ යම් අමනාපකම් ඇති වන ආකාරයේ ප්‍රකාශ තුළින් මුස්ලිම්, ‍දෙමළ අය සතුටු වෙනවානම් ඒක වැරදියි.. ඒ වගේම මුස්ලිම් සහ දෙමළ අයට හිරිහැර වන ආකාරයේ ප්‍රකාශ කිරීමේන් ඒකෙන් සිංහල බෞද්ධයන්ට තෘප්තිමත්භාවයක් ඇති වෙනවානම් ඒකත් වැරදියි. එක්සත් ජාකිත පක්ෂ උපනායක වශයෙන් මම කියන්නේ මේ වගේ පෞද්ගලික ප්‍රකාශ කිරීම එසේ ප්‍රකාශ ඉදිරිපත් කරන අයගේ මිසක්, පක්ෂයේ ස්ථාවරයක් නෙමෙයි. අප මේ අවස්ථාවේ පෞද්ගලික න්‍යාය පත්‍රයන්ට හෝ යම් විදියකින් ජාත්‍යන්තරය සතුටු වන ප්‍රකාශ කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ, අපට අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන විදියේ වැඩ පිළිවෙලක් ඇති කරන එකයි.

අපි සියලු දෙනාම ඒකරාශි වෙලා මේ රට රකින්න සියලුම දේශපාලනය පැත්තකට තියලා රටක් ගැන හිතලා කටයුතු කරන්න ඕන. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියලුදෙනා එකතු වෙලා ශ්‍රී ලංකා අනන්‍යතාවය ඇති කරන්න ඕන. මේක තමයි ශ්‍රෙෂ්ඨත්වය, මේක තමයි මනුෂ්‍යකම. මේක තමයි ශ්‍රී ලාංකික එකමුතුභාවය. ඒක තමයි අපි ඇති කරන්න ඕන.

යම් අයගේ බෙලි කපාගෙන, වැඩ කරන අයට අවස්ථාවක් ලබා නොදී, වැඩ නොකරන පිරිසක් ඒකරාශි වෙලා. ප්‍රශ්ණ ඇති කරලා තියෙන එකගැන තමයි අද දුකෙන් වුණත් කියන්න තියෙන්නේ. ඒ නිසා අදුරට හෙණ ඉල්ලන්නේ නැතුව ආලෝකය ඇති කරලා, ඡන්ද කාලේ විතරක් කතා කරන්නේ නැතුව අපි එකතු වෙලා රටක් වශයෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න ඕන. මේක තමයි රටක් බේර ගන්න තියෙන අවස්ථාව. අද එක පක්ෂයක් නෙමෙයි, සියලුම පක්ෂ අසමත්. ඒ නිසා අපි සියළු දෙනාම එකතු වෙලා රට ඉදිරියට ගෙනයන්න කටයුතු කරමු,“ යැයි පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *