තවුහිත් ත්‍රස්තයන්ට හිස ඔසවන්න දෙන්නේ නැහැ

(කොළඹ, ලංකාපුවත්) – තවුහිත් ජමාද් ත්‍රස්ත සංවිධානයට කිසිසේත් මේ රටේ යළි හිස එසවීමට අවස්ථාවක් නොලැබෙන පරිදි ත්‍රිවිධ හමුදාව මගින් පියවර තුනක් ඔස්සේ දැවැන්ත ක්‍රියාන්විතයක් දියත් කර ඇති බව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද්ධ හමුදාපතිවරයා තවුහිත් ජමාත් ත්‍රස්ත සංවිධානය මේ රටින් මුලිනුපුටා දැමීම සඳහා දියත් කර ඇති ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මේබව කියා සිටියේය.

ජමාද් ත්‍රස්තයන් භූමියක් වෙනුවෙන් සටන් කරන පිරිසක් නොවන බව පෙන්වා දෙන යුද්ධ හමුදාපතිවරයා ඔවුන් සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීම කළ යුතු ක්‍රමයක් ඇති බව ද පෙන්වා දුන්නේය.

ත්‍රිවිධ හමුදාව සමඟ පොලිසියත් බුද්ධි අංශ සමඟ සෙසු ආරක්ෂක අංශවල ද සහාය ඇතිව පියවර තුනක් ඔස්සේ මෙම ත්‍රස්ත සංවිධානය සම්පුර්ණයෙන්ම මෙරටින් පළවා හැරිමේ වැඩපිළිවෙළ දියත් කර ඇත.

ඒ අනුව පසුගිය පාස්කු ඉරිදා කොළඹදී බෝම්බ පුපුරුවා හැරීමේ සිද්ධිය වූ දිනයේ සිට එනම් අප්‍රේල් 21 වැනිදා සිට මාස තුනක කාලයක් වශයෙන් එක් පියවරක් ද එම 21 වැනිදා සිට මාස නවයක කාලයක් සහ එම 21 වැනිදින සිට වසර දෙකක කාලයක් වශයෙන් කාල තුනක් තුළ තවුහිත් ජමාද් ත්‍රස්තයන්ගේ අංකුරයකටවත් මේ රට තුළ තවදුරටත් පැවැතිය නොහැකි වන පරිදි මෙම දැවැන්ත මෙහෙයුම දියත් වෙමින් පවති.

යුද්ධ හමුදාපතිවරයා මෙහිදී පසුගිය 21 වැනිදා සිට අද දක්වා සති තුනක කාලයක් තුල සිදුකරනු ලැබූ මෙහෙයුම සම්බන්ධයෙන් කියා සිටියේ ත්‍රිවිධ හමුදාව රටේ ආරක්ෂාව තහවුරු කරමින් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින අතර තවුහිත් ජමාද් ත්‍රස්තයන්ට කිසිසේත් දෙවන ප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකි වන පරිදි ඔවුන් සියලු ආරක්ෂක විධි විධාන තහවුරු කර ඇති බවයි.

එම නිසා මෙම ත්‍රස්තවාදීන්ගෙන් දෙවන ප්‍රහාරයක් එල්ල වේය වන විවිධ පුද්ගලයන්ගේ මතවලට කන් නොදී යුද්ධ හමුදාව ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ ලබා දෙන සහතිකය පිළිගෙන රටෙ ජනතාව සිය සාමාන්‍ය කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙස ද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

යුද්ධ හමුදාපතිවරයා ඇතුළු හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දශක තුනක යුද්ධ ජයග්‍රහණය ලබා වසර දහයක් ගත වීම නිමිත්තෙන් පැවැත්වෙන සැමරුම් උත්සවය වෙනුවෙන් කරුණු පැහැදිලි කිරීම පිණිස මාධ්‍ය සාකච්ජාවක් ඊයේ කොළඹදී පැවැත්විණි. එහිදී පසුගිය බෝම්බ පිපිරීම හමුදා මෙහෙයුම් සහ දැනට ත්‍රස්තවාදීන්ගේ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් හමුදාපතිවරයා මෙම තොරතුරු හෙළිදරව් කළේය.

මෙහිදි පසුගිය දිනවල රටේ ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය ජනාතාව කළබල වී ප්‍රහාර එල්ල වන අවස්ථාවක හමුදාවේ සොල්දාදුවෙක් එම කුපිත වූ පුද්ගලයන්ට අතින් සාංඥා කර සහයෝගය දෙන බවට ව්‍යාජ වීඩියෝ පටයක් රටපුරා ප්‍රචාරය වීම සම්බන්ධයෙන් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ මෙම වීඩියෝ පටයේ සිදුවන දේ එම චෝදනාවට අදාළව කිසිසේත් සත්‍ය එකක් නොවන බවත් වැරදි ලෙස එය උපුටා දැමීමක් බවත් මේ සම්බන්ධයෙන් දැවැන්ත දර්ශන ඔස්සේ එම හමුදා සෙබළාගේ නිවැරදි භාවය දැවැන්ත තිර ඔස්සේ රටට පමණක් නොව ලෝකයටම පෙන්වා දෙන බවත් කියා සිටියේය.

ඒ අතර පසුගිය වකවානුවේදී බුද්ධි අංශ කඩා වැටීමක් සිදුවූ බවට හමුදාපතිවරයා පවසා සිටියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හමුදාපතිවරයා කියා සිටියේ කඩා වැටීමක් නොව පසුබෑමක් තිබූ බව තමා විසින් පවසා සිටි බවයි. එසේ පැවසීමට හේතුවද හමුදාපතිවරයා මෙහිදි පැහැදිලි කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *