පාස්කු දා ප්‍රහාරවලින් මරණයට පත්වූවන්ට මිලියන 125ක් වන්දි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය පිරිස් වෙනුවෙන් රුපියල් මිලියන 125කට වැඩි මුදලක් වන්දි වශයෙන් මේවන විට ලබා දී ඇත. ඒ අනුව මීගමුව කටුවාපිටිය , කොච්චිකඩේ සහ මඩකලපුව සියොන් දේවස්ථානවල දී මියගිය පුද්ගලයන් සඳහා පිළිවෙළින් මිලියන 86ක්, 12.1 , 21.2, ලෙස මුළු වන්දි මුදල ලෙස රුපියල් මිලියන 119.3 ක් මේවන විට ලබා දී ඇත.

කටුවාපිටිය , කොච්චිකඩේ සහ මඩකලපුව සියොන් දේවස්ථාන වල දී එම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත් වූවන් සඳහා පිළිවෙලින් මිලියන 12.7 , මිලියන 4.3 , මිලියන 3.6ක් ද මේවන විට ප්‍රදානය කර ඇත. කොළඹ ෂැංග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි, ට්‍රොපිකල් ඉන් හෝටල්වල දී ජීවතක්ෂයට පත් වූ පුද්ගලයන් සඳහා පිළිවෙලින් රුපියල් මිලියන 2.8 , මිලියන 1.4 , ලක්ෂ 9ක් හා මිලියන 1.1 ක මුදලක් වන්දි වශයෙන් ලබා දී ඇත.

ඒ අනුව මීගමුව කටුවාපිටිය ශුද්ධවු සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු ඉරුදින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා මියගිය පුද්ගලයින් 92ක් සඳහා වන්දි මුදල් මිලියන 86 ක මුදලක් ලබා දී ඇති බව හානි පූරණය සඳහා වන කාර්යයාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පැවසී ය. රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රාදේශීය ලේකම්වරු හරහා මුල් අවධියේදීම අවමංගල්‍ය කටයුතු සඳහා ලබා දීම සිදු කළ බවත් ඉතිරි ලක්ෂ 9ක මුදල ඒ පුද්ගලයන් 92 සඳහා පසුව ලබා දීම සිදු කළ බවත් පැවසූ ඒ මහතා මේ වනවිට මිලියන 92ක මුදලක් කටුවාපිටිය ජීවිතක්ෂයට පත්වූවන් සඳහා ලබා දී ඇති බවත් පෙන්වා දුන්නේය. කටුවාපිටිය දේවස්ථානයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත්වූවන් 130දෙනෙකු සඳහා මිලියන 12.7ක මුදලක් ලබා දී ඇති බවත් සඳහන් කළේය.

එදින කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී මියගිය පුද්ගලයන් 18 දෙනකු සඳහා මිලියන 12.1 ක මුදලක් ද අනතුරට පත් වූ පුද්ගලයන් සඳහා මිලියන 4.3ක මුදලක් ද මේ වනවිට ලබා දී ඇති බවත් අනතුරට පත් වූ අනිකුත් පුද්ගලයන් සඳහා අදාළ වන්දි ලබාදීමේ කටයුතු වලට අදාල ගණනය කිරීම් මේ වනවිට සිදු කරමින් පවතින බවත් ඒ මහතා කීවේ ය.

මඩකලපුව සියොන් දේවස්ථානයේ දී මියගිය පුද්ගලයන් 29 දෙනාගෙන් 27දෙනෙකු සඳහා මිලියන 21.2 ක මුදලක් ද අනතුරට පත්වූ පුද්ගලයන් 35දෙනෙකු සඳහා මිලියන 3.6ක මුදලක් ද ලබා දී ඇති බවත් අධ්‍යක්ෂවරයා කීය.

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ජීවතක්ෂයට පත් වූ පුද්ගලයන් 4 දෙනෙක් සඳහා මිලියන 2.8 ක මුදලක් ද , සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මියගිය පුද්ගලයන් 3 දෙනෙකු සඳහා මිලියන 1.4 ක මුදලක් ද කිංග්ස්බරි හෝටලයේ දී මියගිය පුද්ගලයෙකු සඳහා ලක්ෂ 9 ක මුදලක් ද , දෙහිවල ට්‍රොපිකල් ඉන් හෝටලයේ දී මියගිය පුද්ගලයන් 2 සඳහා මිලියන 1.1 මුදලක් ද මේ වන විට ලබා දී ඇති බවත් අනාවරණය කළේය.

මෙම බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ විදේශිකයන් 43 දෙනා සම්බන්ධව මෙ වන විටත් හඳුනානොගත් මළසිරුරු ද පවතින නිසා එම ජීවිතක්ෂයට පත්වූවන් සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මාර්ගයෙන් ඊට අදාළ කටයුතු සිදුකරන බවත් ආනන්ද විජේපාල මහතා කීවේය. එමෙන්ම බෝම්බ ප්‍රහාරය නිසා හානියට පත් වූ දේපළහානි සම්බන්ධ තක්සේරු කිරීම් වලට අනුව කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථාන සඳහා රුපියල් මිලියන 10ක් ද සියොන් දේවස්ථානය සඳහා මිලියන 5 ක මුදලක් ද නාවික හමුදාව සහ යුද හමුදාව වෙත ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු හා උතුරු පළාත් සංවර්ධන , නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන අමාත්‍යංශය ලබා දී ඇති බවත් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *