රනිල්ට එරෙහි පෙත්සම – විභාගයට නොගෙන ඉවතට

(කොළඹ, ලංකාපුවත්) –අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කරයි.

ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරන ලදි.

මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ කොළඹ නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින්ය.

මෙම පෙත්සම ඉකුත් දා විභාගයට ගත් අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනග ඊස්වරන් මහතා මූලික විරෝධතාවක් මතුකරමින් මෙම නඩුවේ සාක්ෂි වශයෙන් ඉදිරිපත් කරන ලේඛන වල මුල් පිටපත් ඉදිරිපත් කර නොමැති බැවින් එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවට මූලික විරෝධතාවක් මතු කර තිබුණි.

එබැවින් අදාළ පෙත්සම විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කරන ලෙසද ජනාධිපති නීතිඥවරයා එම මූලික විරෝධතාව තුළින් ඉල්ලා තිබුණි.

මෙම මූලික විරෝධතාව පිළිගන්නා බව සඳහන් කළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඒ අනුව පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි සඳහන් කළේය.

පෙත්සම්කාරිය කියා සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු කොටස් හිමිකාරිත්වය දරන සමාගමක් රජයේ ආයතන සමඟ ගිවිසුම්ගතව ව්‍යාපාරවල නිරත වන අවස්ථාවක එම මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමි වන බවයි.

ඒ බව සඳහන් නඩු තීන්දු කීපයක් ම පසුගිය කාලයේ ප්‍රකාශයට පත්වී ඇති බවයි පෙත්සම්කාරිය පෙන්වා දුන්නේය.

වග උත්තරකාර රනිල් වික්‍රමසිංහ මහතා lake house printers සහ publisher සමාගමේ කොටස් හිමිකාරිත්වය දරන පුද්ගලයකු බව පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු වැඩි කොටස් ප්‍රමාණයක් තිබෙන නව වැනි කොටස්කරු බවද පෙන්වා දෙයි.

ඒ බව එම සමාගම විසින් 2014 වසරේ සිට 2018 දක්වා කාල සීමාව සඳහා නිකුත් කළ වාර්ෂික වාර්තාව මගින් තහවුරු කර ඇති බවද ඇය පෙන්වා දෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා කොටස් හිමිකාරීත්වය දරන lake house printers are publisher සමාගම මහජන බැංකුව සහ ලංකා බැංකුව සමඟ ගිවිසුම්ගතව එම බැංකු වලට අදාල චෙක්පත් මුද්‍රණය කරමින් ව්‍යාපාරික කටයුතුවල නිරත වී ඇති බව පෙත්සම්කාරිය සඳහන් කළේය.

එබැවින් රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරීමට තිබෙන සුදුසුකම අහිමිවී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කාරිය ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ වරදක් සිදුකර ඇති බවයි කියා සිටියේය.

එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ කෝවොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කරන මෙන් ද ශර්මිලා ගෝනවල මහත්මිය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *