ආරක්ෂාව තහවුරුයි – බය නැතිව දරුවන් පාසල් යවන්න – හමුදාපති

(කොළඹ, ලංකාපුවත්) –අපේ රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලකා පාසල්වලට උපරිම ආරක්ෂාව සපයා ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් සියලු සිසු දරුවන් පාසල් වෙත යොමු කරන මෙන් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින අතර සියලු ආරක්ෂක අංශ එකතු වී ඒකාබද්ධ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කර ඇති බවද පෙන්වාදෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හමුදාපතිවරයා මෙසේද කීය

අවාසනාවන්ත අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇති වූ කම්පනය සහ බිය නිසා ශ්‍රී ලාංකික ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. ඒ සිදුවීමත් සමඟ රටේ සංවර්ධනය සහ ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබාදෙන රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමේ අඩුවීමක් සහ ජන ජීවිත අඩාලවීමක් සිදුවිය.

ඒ නමුත් රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය දැඩි කැපවීමකින් අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලදී. ත්‍රස්ත ප්‍රහාරය සිදුවී ඉතාමත් කෙටි කාලයක් තුළ සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපතිවරයා විසින් යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට සාමය ආරක්ෂා කිරීමට සහ ත්‍රස්තවාදීන් විනාශ කිරීමට අවශ්‍ය සියලු බලතල ලබාදුන් බැවින් යුද්ධ හමුදාව ත්‍රස්තයන් විනාශ කිරීම සහ ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමට සිදු කරන සියලුම මෙහෙයුම් සඳහා මෙය උපරිම දායකත්වය සපයමින් සිටී.

මෙම මෙහෙයුම් සඳහා පරීක්ෂණ මේ වන විටත් ඉතා සාර්ථක ප්‍රගතියකින් ප්‍රතිඵලදායී ලෙස ඉදිරියටම සිදු කරමින් පවතී.

ත්‍රස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම සහ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙනයාම ඉතා සතුටුදායකව වර්ධනය වී ඇත.

මේ වසරේ දෙවන වාරය සඳහා පාසල් විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණද බොහෝ මාපියන් පැතිර ගිය කට කථා සහ තහවුරු කරගත් හා නොකරගත් තොරතුරු හේතුවෙන් තම ආදරණීය දූ දරුවන් පාසලට එවීමට මැලිකමක් දැක්වූවා.

මා මෙම අවස්ථාවේදී සියලුම මාපියන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියෙන් තොරව ඔබගේ දරුවන් අද (21) දින සිටම පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙසටයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශ කිහිපයකින් සාමය කඩවන ප්‍රචණ්ඩකාරී ක්‍රියා කිහිපයක් වාර්තා වුවත් යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව පොලිසිය මඟින් එම ප්‍රචණ්ඩකාරී ක්‍රියා පාලනය කර ඒ සඳහා සම්බන්ධවූවන් බොහෝදෙනෙක් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇත.

එවැනි ප්‍රචණ්ඩකාරී ක්‍රියා නැවත ඇති නොවීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත.

පසුගිය දින දෙක තුළ වෙසක් උත්සවය වෙනුවෙන් දිවයිනේ බෞද්ධාගමික ස්ථාන ආවරණය වන පරිදි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර කිසිදු සාමය කඩ කිරීමකින් තොරව වෙසක් උත්සවය නිමිත්තෙන් පැවැත්වු ආගමික වැඩසටහන් ඉතා සාර්ථකව නිමකිරීමට හැකි විය.

රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටේ සියලු පුරවැසියන්ගේ දේපළවලත් ආරක්ෂාව වෙනුවෙන් සෑමවිටම කැපවීමෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සලකා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල් වෙත යොමුකරන මෙන් මාපියන්ගෙන් මේ අවස්ථාවේ මා යළිත් ඉල්ලා සිටින අතර අවසාන වශයෙන් අප විසින් දියත් කළ ආරක්ෂක කටයුතු සඳහා සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අවංක සහයෝගයත් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා දැනට රට තුළ පවතින ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *