සීගිරි රජ දවස 3D රූප රාමු ඔස්සේ නැරඹීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) –සීගිරිය නැරඹීම සඳහා සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පෙරේදා (19) දිනයේ දී පමණක් පැමිණ ඇත.

මැයි 18 , 19 , 20 යන දින වල සීගිරිය නොමිලේ නැරඹීමට අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබූ අතර ඒ අනුව දෙස් විදෙස් සංචාරකයන් රැසක් සීගිරය නැරඹීමට පැමිණ තිබේ. සීගිරිය නොමිලේ නැරඹීමට ඇති අවස්ථාව ඊයේ (20) දිනෙන් අවසන් විණි. එමෙන්ම සීගීරිය කෞතුකාගාරය නැරඹීමට ද විශාල පිරිසක් එක්ව සිටියහ.

වෙසක් පෝය (18) දිනයේ සීගිරිය නැරඹීම සඳහා සංචාරකයන් 4000ක පමණ පිරිසක් සහභාගී වුහ.

වෙසක් පෝය දිනයේ පමණක් දේශීය සංචාරකයන් 4000කට වැඩි පිරිසක් ද විදේශීය සංචාරකයන් දෙසීයක් පමණ ද සීගිරියට පැමිණ ඇත.

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලය මගින් ඔසුපැන් දන්සලක් ද ලබා දීම සිදු කෙරිණි.

ඉපැරණි රජ දවස සීගිරය පැවති ආකාරය සජීවීකරණ ත්‍රිමාණ ඡායාරූප රාමු හරහා දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට මෙහිදී අවස්ථාව හිමි වී තිබේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසුවේ සීගිරය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට මෙය නව අත්දැකීමක් වන බවත්, ත්‍රිමාණ දර්ශන නැරඹීම සඳහා විනාඩි පහළොවක පමණ කාලයක් සලසා දෙන බවත්ය.

බටහිර දොරටුවේ සිට සීගිරි ගල මුඳුනේ පිහිටි රජ මාලිගාව දක්වා ඉපැරණි රජ දවස ත්‍රිමාණව නිර්මාණය කර තිබීම මෙහි විශේෂය වේ. වසර එකහමාරක පමණ කාලයක සිට අධ්‍යයනය කර සීගිරිය පිහිටි වර්තමාන ගොඩනැඟිලි වල උස , දිග , පළල මෙන්ම අනිකුත් සියලු පිහිටීම් සියල්ල අධීක්ෂණයෙන් පසුව ඉපැරණි රජ මැඳුර ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවස යි.

ඒ අනුව සිංහ පාදය, සීගිරි බිතුසිතුවම්, දිය පොකුණු, සීගිරි අප්සරාවන් සීගිරි කාශ්‍යප රජු ඇතුළු රූප රාමු රැසක් ද සීගිරිය බටහිර දොරටුවේ සිට සීගිරි මුදුනේ පිහිටි රජමාළිගය දක්වාම ඉපැරැණි රජ දවස මෙහි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *