මිය ගියේ සහරාන් බව DNA වලින් තහවුරුයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ඉරිදා දිනයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ දෙදෙනාගෙන් එක් අයකු ජාතික තවුහිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නැමැත්තා බවට ඩී.එන්.ඒ පරීක්ෂාවෙන් තහවුරු වී තිබේ.

එම ත්‍රස්තවාදියාගේ බිරියගේ සහ දියණියගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් අනතුරුව තහවුරු කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය 21 ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද සියලු බෝම්බකරුවන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණවල දී ඔවුන්ගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිල වශයෙන් තහවුරු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ අප්‍රේල් 21 වැනි දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුව මීට පෙර ඉදිරිපත් කළ බවත් ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදු කළ බවත්ය.

එම පරීක්ෂාවන් හි වාර්තාවන් සම්බන්ධයෙන් ඊයේ (21) පස්වරුවේ තහවුරු කර තිබෙන අතර කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පිපිරීම් දෙකක් සිදු වූ බවද එයින් එක් පිපිරීමක් සහ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම සිදු කැර තිබෙන්නේ ඊබ්‍රහිම් නැමැත්තාගේ දරුවන් දෙදෙනකු වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් අහමඩ් සහ මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්ෂාෆ් අහමඩ් නැමැත්තන් බවද මොවුන්ගේ ඩී.එන්.ඒ පරීක්ෂාවේ දී ඔවුන්ම බවට තහවුරු වන බවද හෙතෙම ප්‍රකාශ කෙළේය.

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් යන අය වන අතර එම ත්‍රස්තවාදියාගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සමඟ සැසඳෙන බවද කොළඹ, කොච්චිකඩේ දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අලව්ඩීන් අහමද් මුදාත් නැමැත්තාගේ දෙමාපියන්ගේ ඩී.එන්.ඒ සමඟ සැසඳෙන බවට ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙන බව පවසන රුවන් ගුණසේකර මහතා දෙහිවල ට්‍රොපිකල් ඉන් වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ් නැමැත්තාගේ බිරිය හා දරුවන්ගේ ඩී.එන්.ඒ. සමඟ සැසඳෙන බවද කීවේය.

මඩකලපුව දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් නැමැත්තාගේ මවගේ ඩී.එන්.ඒ සමඟ ද කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැතාගේ බිරියගේ හා දරුවාගේ ඩී.එන්.ඒ සමඟ සැසඳෙන බවට තහවුරු කර තිබෙන බව පැවසූ ඒ මහතා දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසේ පිපිරීම් දෙකක් සිදු වූ අතර එය පුපුරුවා ගෙන තිබෙන්නේ මොහොමඩ් ෆාතිමා ජිෆ්රි නැමැත්තිය බවද ඇය ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බ පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රහිම් ඉල්හාම් නැමැත්තාගේ බිරිය බවටත් දෙමටගොඩ නිවෙසේ බෝම්බ පුපුරුවා ගැනීමෙන් ජීවිතක්ෂයට පත්වූ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවටත් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බවද පෙන්වා දුන්නේය.

ඒ අනුව පාස්කු ඉරිදා දිනයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද සියලු ත්‍රස්තවාදීන් ඔවුන්ගේ ඥාතීන්ගේ ඩී.එන්.ඒ සමඟ සැසඳෙන බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =