ඉන්දියාව නැවතත් මෝදිට

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය මහමැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගැනීමට නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය (BJP) සමත්ව තිබේ.

මුළු ආසන ප්‍රමාණයෙන් තුන්සියයකට වැඩි සංඛ්‍යාවක බලය තහවුරු කර ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත්ව ඇති අතර මෙය සරල බහුතරය ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 272ක ඉක්මවා ගිය තත්ත්වයක් වීමේ මෙවර මැතිවරණයේ විශේෂත්වයකි. ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵල අනුව රාහුල් ගාන්ධි ප්‍රමුඛ ඉන්දීය ජාතික කොංග්‍රසය (INC) දරුණු පසුබෑමකට ලක්ව ඇත.

අදියර හතකින් ක්‍රියාත්මක වූ ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මස 11 වැනිදා ඇරඹුණු අතර අවසන් වූයේ පසුගිය ඉරිදා (19) දිනයේය. මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයෝ මිලියන 900ක් සුදුසුකම් ලබා සිටියහ. ප්‍රාන්ත 29ක සහ ෆෙඩරල් භෞමික ඒකක7ක ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද මධ්‍යස්ථාන මිලියනයක් ක්‍රියාත්මක විය. මෙවර මැතිවරණය සඳහා ලියාපදිංචි දේශපාලන පක්ෂ 2,347ක් ඉදිරිපත්ව තිබිණි.

උත්තර ප්‍රදේශයේ ඉන්දීය ජාතික කොංග්‍රසයේ ඡන්ද පදනම දරුණු ලෙස කඩාවැටීමකට ලක්ව ඇති අතර සෝනියා ගාන්ධි තරඟ කළ ‘රායි බරේලි’ ආසනය පමණක් ජයග්‍රහණය කිරීමට කොංග්‍රසය සමත්ව විය. බටහිර බෙංගාලයේ ක්‍රියාත්මක වමාංශික පක්ෂ සතුව තිබූ ඡන්ද ප්‍රමාණයද දරුණු ලෙස පසුබෑමකට ලක්ව තිබීමද මෙවර මැතිවරණයේ විශේෂත්වයකි. තමිල්නාඩු ප්‍රාන්තයේ බහුතර බලය තහවුරු කර ගැනීමට පක්ෂය සමත් වී තිබේ. මධ්‍ය ප්‍රදේශයේ භාරතීය ජනතා පක්ෂය සතුව තිබූ ඡන්ද පදනම පසුගිය සමයේ යම් කඩාවැටීමකට ලක්ව තිබුණු නමුත් නැවතත් එම ප්‍රාන්තයේ ආසන 29න් 28කම ඉදිරියෙන් සිටීමට එම පක්ෂය මෙවර සමත්ව ඇත.

එමෙන්ම නවදිල්ලි ප්‍රාන්තයේ බලය තහවුරු කරගෙන සිටි අර්වින්ද කෙජ්රිවාල්ගේ නායකත්වයෙක් යුත් ‘ආම් ආද්මි’ පක්ෂය නවදිල්ලියේ දරුණු පරාජයක් ලබා ඇති අතර එහි ආසන 7ම ජය ගැනීමටද භාරතීය ජනතා පක්ෂය සමත් විය.

ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති රාහුල් ගාන්ධි මෙවර ආසන දෙකක් සඳහා තරඟ කළේය. භාරතීය ජනතා පක්ෂයේ ප්‍රභල අපේක්ෂිකාවක් මෙන්ම ඉන්දීය රජයේ අමාත්‍යවරියක්ද වන ස්මිත්‍රි ඉරානි හමුවේ උත්තර ප්‍රදේශයේ ‘අමෙති’ ආසනයෙන් රාහුල් ගාන්ධි පරාජයට පත් විය. කෙසේ වෙතත් කේරළ ප්‍රාන්තයේ ‘වායනද්’ ආසනය ජයග්‍රහණය කර රාහුල් ගාන්ධි ලෝක් සභාවට තේරී පත් විය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ලක්ෂ 6කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබමින් අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව ඇත.

මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ ප්‍රකට චරිත වන ක්‍රිකට් ක්‍රීඩක ගෞත්ම ගාම්භීර් (BJP), බොලිවුඩ් නිළි හේමමාලිනී (BJP), බොලිවුඩ් නලු සනී ඩියොල් (BJP), බොලිවුඩ් නිළි කිරන් ඛේර් (BJP), තම ආසන ජයග්‍රගණය කරමින් ලෝක් සභාවට තේරී පත්ව ඇති අතර දකුණු ඉන්දීය නිළි ජයප්‍රදා (BJP) සහ බොලිවුඩ් නිළි උර්මිලා මතෝන්දකාර් (INC) පරාජයට පත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *