වැටුණු සංචාරය නංවන උපායන් සාර්ථකයි

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු ප්‍රහාරය සමඟ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය ගොඩනැඟීම සඳහා ගත් කඩිනම් පියවර සාර්ථක වෙමින් පවතින බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති ක්‍රිෂූ ගෝමස් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශීය තානාපතිවරුන්ට රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ බවත් ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වූ බවත් සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට ආරක්ෂක තත්ත්වය පිළිබඳව සලකා බලා මෙරට සංචාරය කිරීම අවදානම් බවට ඒ ඒ රටවල් සිය ජනතාවට ලබා දී තිබූ නිවේදන ලබන සතිය තුළදී ලිහිල් කරන බවට ඉඟි පළ වී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය. සංචාරක ව්‍යාපාරයේ නියැලී සිටින සංගම් ශ්‍රී ලංකාවට සහය පළකර ඇති බවත් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් රටවල් 37කින් සංචරන උපදේශනයන් නිකුත් කර තිබුණද ඉදිරි සතිය තුළදී අවම වශයෙන් සියයට 25ක් එම උපදේශනයන් ඉවත් කර ගැනීමට කටයුතු කරනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු පැවසුවේය.

ඉදිරියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පනවා ඇති සංචාරක තහනම් ඉවත් කිරීමට අදාළ රටවල් පියවර ගතහොත් එය සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා වඩාත් පහසු වනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *