ප්‍රවීන නළු ගාමිණි හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) –සිනමා, රූපවාහිනී සහ වේදිකා නාට්‍ය ප්‍රවීන නළු ගාමිණි හෙට්ටිආරච්චි මහතා අභාවප්‍රප්ත වේ. ඒ මහතා මිය යන විට 68වැනි වියෙහි පසු විය.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(27) සවස අභාවප්‍රාප්ත විය.

වේදිකා නාට්‍ය ටෙලි නාට්‍ය හා චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායකවූ ගාමිණි හෙට්ටිආරච්චි මහතා කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසුවෙකි.

ඔහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගුරු කොට මුලින්ම වේදිකා රංගනයෙන් සිය කලා කුසලතාවයන් පෙන්නුම් කළේය. සරච්චන්ද්‍රගේ ‘රත්තරන්’ වේදිකා නාට්‍යය නිසා කලක් කථාබහට ලක් විය.
දඩබිම, දූදරුවෝ, කල්පාන්තයක්, හයසිය හැටහය, ඉන්ගම්මාරුව, ගජමන්නෝනා වැනි ටෙලිනාට්‍ය ඔස්සෙ ඔහු සිය රංගන ප්‍රතිරාව මනාව පෙන්නුම් කළේය.

එසේම ‘යශෝරාවය‘ ටෙලිනාට්‍යයේ සුනිමල්ගේ චරිතය තුළින් ගාමිණී හෙට්ටිආරච්චි මහතා ප්‍රේක්‍ෂකයන් අතර අතිශය ජනප්‍රියත්වයට පත්විය.

අස්වැසුම, සිංහාවලෝකනය, විදු, අයෝමා, බහුබූතයෝ සහ කොස්තාපල් පුඤ්ඤසෝම ඇතුළු චිත්‍රපට රැසකට ද රංගනයෙන් දායක විය.

මෑත කාලීන ටෙලි පරම්පරාව සමගද එක්ව ‘සිදු’ වැනි ටෙලි නාට්‍ය හරහා රංගනයට එක්වූ ඔහු සංකීර්ණ මෙන්ම සරල චරිත පවා ඉතා තාත්වික ලෙස ඉදිරිපත් කිරීම නිසා සම්මානයටද භාජනය වූ නළුවෙකි.

ඔහු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි. නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පිණියක් වන ප්‍රතිභා හෙට්ටිආරච්චි, ඔහුගේ දියණියයි. ඔහුගේ අවමංගල්‍ය කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *