ක්‍රිකට් මහා මංගල්‍ය හෙට සිට

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රිකට් රසිකයන්ගේ ද හදවත් උණුසුම් කරමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ලෝක ශූරයන් සොයා සිවු වසරකට වරක් පැවැත්වෙන තරගාවලිය හෙට (30) එංගලන්තයේ සහ වේල්සයේදී ආරම්භ වෙයි. 1975 වසරේ රටවල් 8ක සහභාගිත්වයෙන් ආරම්භ වූ තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වරටය.

එදා සිට

නිමාවූ ලෝක කුසලාන තරගාවලි 11න් 5කදී ශූරයන් වීමට ඔස්ට්‍රේලියාව සමත්වූ අතර ඔවුන් මේ සියළුම තරගාවලිය නියෝජන කළේය. එංගලන්තය, ඉන්දියාව, නවසීලන්තය, පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අඛණ්ඩව ලෝක කුසලාන තරගාවලි නියෝජන කර තිබේ. කොදෙව් පිලට සෘජුවම මෙවර තරගාවලියට එක්වීමේ අවස්ථාව අහිමිවූ අතර ඔවුන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අනුශූරයන් ලෙසින් එක්විය. දකුණු අප්‍රිකාව වසර 1992 සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන අතර 1983 වසරේ සිට 2015 දක්වා අවස්ථා 9කදී ලෝක කුසලාන නියෝජනය කළ සිම්බාබ්වේ පිලට මෙවර අවස්ථාව අහිමිවිය.

කුසලානය

ලෝක කුසලාන ආරම්භක තරගාවලියේ සිට 1996 දක්වා මුල් තරගාවලි හයේදී ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය තරගාවලියට අනුග්‍රාහකත්වය ලබාදෙන සමාගමේ නමින් නම් කර තිබිණි. එහෙත් 1999 වසරේ සිට මේ කුසලානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) කුසලානය ලෙස නම් කර තිබේ.

මෙහි (අයි.සී.සී.) මුල් කුසලානය අයි.සී.සී. විසින් තබාගෙන තිබෙන අතර ශූරයන්ට පිරිනමණුයේ එහි ආකෘතියකි.

කණ්ඩායම් 10යි

මෙවර ලෝක කුසලාන තරගාවලියට එක්වන කණ්ඩායම් ප්‍රමාණය 10කි.

2017 වසරේ සැප්තැම්බර් මස වනවිට ජාත්‍යන්තර එක්දින පිටියේ ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියෙන් පසුවු කණ්ඩායම් 7 සෘජුව තරගාවලියට සුදුසුකම් ලැබූ අතර සත්කාරකත්වය දරණ රටටද අවස්ථාව හිමිවෙයි. ඒ අනුව රටවල් 8ක් එක්වන අතර සිම්බාබ්වේහිදි පැවැති සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියේ ශූරයන් සහ අනුශූරයන්ද එක්වෙයි.

අවසන් වරට 2015 පැවැති තරගාවලියට මෙන්ම 2011, 2003 තරගාවලියන්ට එක්වූයේ කණ්ඩායම් 14ක් බැගිනි. 2007 වසරේ වැඩිම කණ්ඩායම් සංඛ්‍යාවක් ලෙස රටවල් 16ක් එක්වූ අතර 1996 සහ 1999 කණ්ඩායම් 12ක්, 1992දී කණ්ඩායම් 9ක් සහ 1975 සිට 1987 දක්වා තරගාවලිය 4 ට කණ්ඩායම් 8 බැගින් එක්ව තිබිණි.

ප්‍රතිවාදීන් 9ක්

ලෝක කුසලාන ඉතිහාසයේ පළමු වරට කණ්ඩායම් 10ක් එක්වන බැවින් මින් පෙර පැවැති කාණ්ඩ දෙකකින් තරග වදින ආකෘතිය මෙවර ඉවත් කර තිබේ. ඒ අනුව රවුන් රොබින් ක්‍රමයට තරග පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් 9 සමගින් තරග වැදීමට නියමිතය. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. ඒ හේතුවෙන් මෙවර තරගාවලියේ වඩා වැඩි තරගකාරිත්වකින් දැකගැනීමට හැකිවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අදහසයි.

ඩොලර් මිලියන 10ක තෑගි

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ත්‍යාග සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වෙන්කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 10කි. එහිදී ශූරයන්ට මිලියන 4ක් හිමිවන අතර අනුශූරයන්ට හිමිවන මුදල මිලියන 2කි. අවසන් පූර්ව තරගයේ ජයග්‍රාහකයන් අවසන් තරගයට පිවිසෙන අතර එම වටයේ පරාජිතයන්ට ඩොලර් ලක්ෂ 8 බැගින් පිරිනැමේ. මූලික වටයේ තරග ජය ගන්නා කණ්ඩායමකට ඩොලර් 40000 බැගින් හිමිවන අතර එහි මුළු මුදල ලක්ෂ 18කි. මූලික වටයෙන් ඉවත්වන කණ්ඩායම් වලට (කණ්ඩායම් 6) ඩොලර් ලක්ෂය බැගින් පිරිනැමෙනු ඇත.

ශූරයන්ට මිලියන 4යි

තරගාවලියේ ජයග්‍රාහකයන්ට ඉතිහාසයේ පිරිනැමුණු ඉහළම ත්‍යාග මුදල ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ අනුව මෙවර කිරුළ දිනා ගන්නා කණ්ඩායමට ත්‍යාග ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 4ක් පිරිනැමීමට නියමිතය. එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් වලින් කෝටි 70කට අධික මුදලකි.

ක්‍රීඩාංගණ 11ක්

එංගන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මේ තරගාවලියට තරග 48ක් ඇතුළත් වෙයි. එම තරග ක්‍රීඩාංගණ 11කදී පැවැත්වීමට නියමිතය. ඊට මූලික වටයේ තරග 45ක්, අවසන් පූර්ව තරග 2ක් සහ අවසන් මහා තරගය සමගින් ඇතුළත්ව ඇති සම්පූර්ණ තරග සංඛ්‍යාව 48කි.

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස හැඳින්වෙන ලන්ඩන්හී ලෝඩ්ස් ක්‍රීඩාංගණය සමගින් කෙනින්ටන් ඕවල්, බර්මින්හෑම් හී එජ්බැස්ටන්, කාඩිෆ් හී සොෆියා ගාඩ්න්ස්, චෙස්ටර් ලී ස්ට්‍රීට් හී ගඟබඩ ක්‍රීඩාංගණය, ලීඩ්ස් හී හෙඩින්ලි, මැන්චෙස්ටර් හී ඕල්ඩ් ට්‍රැෆර්ඩ්, නොටින්හැම්ශයර් හී ට්‍රෙන්ට් බ්‍රිජ්, සදම්ස්ටන් හී රෝස් බෝල් ක්‍රීඩාංගණ වලට අමතරව බ්‍රිස්ටල් සහ ටවුන්ටන්වල පළාත්බද ක්‍රීඩාංගණවලදීත් තරග පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *