රජයේ නිලධරයන්ගේ ඇදුම් පැළදුම් සම්බන්ධ චක්‍රලේඛයක්

(කොළඹ, ලංකාපුවත්) –රජයේ ආයතනවල සේවය කරන සියලුම නිලධාරිනියන්ට සාරිය – ඔසරිය අනිවාර්ය කර තිබේ. ඒ සඳහා වන චක්‍ර ලේඛණය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා විසින් පසුගිය 29 වෙනිදා නිකුත් කර ඇත.

ඒ අනුව කාර්යාල වෙලාවේදී සියළුම රජයේ ආයතනවල සේවය කරනු ලබන පිරිමි පුද්ගලයින් කලිසම සහ කමිසය හෝ ජාතික ඇඳුම ද, කාන්තාවන් ඔසරිය හෝ සාරිය පැළද සිටීම අනිවාර්ය කර තිබේ. ඊට අමතරව නිල ඇදුමක් හෝ එම නිල ඇඳුම් දීමනා ලබන සේවකයින් අදාළ නිල ඇඳුම ඇද සිටීම අනිවාර්ය බව එම නිවේදනයේ දැක්වේ.

ඊට අමතරව කිසියම් ආගමික චාරිත්‍රයකට අනුව තම ඇඳුම සකස් කර ගෙන සිටින නිලධරයෙක් වේ නම් ඔවුන්ට ඉහත සදහන් ඇඳුමින් සැරසී අනතුරුව ආගමික අනන්‍යතාවය තහවුරුවන ලෙස හා අනෙකුත් නිලධාරීන්ට මුහුණ සම්පුර්ණයෙන්ම පැහැදිලිව හඳුනාගත හැකි වන පරිදි අතිරේක පැළඳුමක් භාවිතා කල හැකිය.

සේවාලාභියෙකුට සිය සේවාවන් සපයා ගැනීමට රජයේ කාර්යාල වෙත පැමිණීමේදී අදාළ සේවා සපයන්නා පැහැදිලි ලෙස හඳුනා ගැනීමට හැකිවන ආකාරයේ ඇඳුමින් සැරසී පැමිණිය යුතු බවට විධිවිධාන පැනවීම සියළු ආයත ප්‍රධානින්ගේ වගකීම බව මෙහිදී රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති නව චක්‍ර ලේඛණයේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *