ඡන්ද හිමි නාම ලේඛන ඉක්මනින් පුරවා භාර දෙන්නැයි ඉල්ලීමක්

(කොළඹ, ලංකාපුවත්) – ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර හැකි ඉක්මනින් පුරවා භාර දෙන්නැයි කැෆේ සංවිධානය ඉල්ලීමක් කරයි.

එම සංවිධානයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මහතා පෙන්වා දෙන්නේ රටේ පවතින ආරක්ෂක වාතාවරණය අනුව මේ වන විට ඡන්ද හිමි නාම ලේඛන ආකෘති පත්‍ර පුරවා භාරදීම පිලිබදව ජනතාව වැඩි අවධානයක් යොමු කර ඇති බවක් නොපෙනෙන බවයි.

මේ වසර අවසානයේ දී හෝ ඊළඟ වසරේ දී පළාත් සභා මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය හා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිත ව තිබේ. එම මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ගැනීමට මෙම ඡන්ද හිමි නාම ලේඛණ වලට නම ඇතුළත් කර ගත යුතුය. එම නිසා ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු කඩිනමින් සිදු කර ගැනීම සඳහා හැකි ඉක්මනින් අදාළ ඡන්ද හිමි නාම ලේඛන අයදුම් පත්‍ර පුරවා භාර දීමට කටයුතු කළ යුතු බව කැෆේ විධායක අධ්‍යක්ෂ වරයා පෙන්වා දෙයි.

මෙතෙක් ඡන්ද හිමි නාමලේඛන අයදුම් පත්‍ර නොලැබුණු කෙනෙක් වේ නම් එම අයදුම් පත්‍ර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා වෙතින් ලබා ගත හැකිය.ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු ප්‍රමාද වන තරමට මැතිවරණ කල්දැමීමේ වැඩි හැකියාවක් ඇති බැවින් මෙම ආකෘති පත්‍ර කඩිනමින් භාර දිය යුතු බව කැෆේ සංවිධානයේ අදහසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *