පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට ජය ගෙනෙති

(කොළඹ, ලංකාපුවත්) – නුවන් ප්‍රදීප් සහ ලසිත් මාලිංග ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ විශිෂ්ට දස්කම් හේතුවෙන් ඇෆ්ගනිස්තානය සමග කාඩිෆ් හිදී ඊයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 34ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 201කට දැවී ගිය අතර වර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඕවර 41කට සීමාවූ තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව හිමිවී ලකුණු 187ක ඉලක්කය හඹාගිය ඇෆ්ගනිස්තානයට ඕවර 32.4කදී සියලලන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 152ක් පමණි.

ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදුන් හස්රතුල්ලා සසායිගේ ඉනිම ලකුණු 30කට සීමා කිරීමට නුවන් ප්‍රදීප් සමත් වූයේ තිසර පෙරේරාගේ විශිෂ්ට උඩ පන්දු රැකීම හේතුවෙනි. මුළු ලකුණු 44දී තෙවැනි කඩුල්ල ලෙස දැවී ගිය ඔහු, පන්දු 15කින් ලකුණු 24ක් ලබා සිටියදී ලසිත් මාලිංග යැවූ ඉනිමේ 5 වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ලබාදුන් උඩ පන්දුව කුසල් මෙන්ඩිස් අතින් ගිලි යෑමෙන් පිටියේ රැදී සිටීමට වාසනාවන්ත වුවත් මුහුණදීය හැකිවූයේ පන්දු 10කට පමණි.

මාලිංග යැවූ එම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් මොහොම්මඩ් ශසාඩ් දවා ගනිමින් පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 34දී බිඳ දැම්මේ නායක දිමුත් කරුණාරත්න උඩ පන්දුවක් රැක ගැනීමෙනි. ඉසුරු උදානගේ පන්දුවක් හමුවේ රහ්මත් ෂා (2) දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

මුළු ලකුණු 57දී ඇෆ්ගනිස්තානය කඩුලු 2ක් අහිමිවූයේ හෂ්මතුල්ලා ෂහීඩි (4) නුවන් ප්‍රදීප්ගේ පන්දුවක් හමුවේ කුසල් පෙරේරා උඩ පන්දුවක් රැක ගැනීමෙනුත්, මොහම්මඩ් නබි (11), තිසර පෙරේරාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාත් දැවී යෑමෙනි.

6 වැනි කඩුල්ලට එක්වූ නායක ගුල්බඩින් නයිබ් සහ නජිබුල්ලා සද්‍රාන් පන්දු 66කින් ලකුණු 64ක් රැස්කරමින් මුළු ලකුණු සංඛ්‍යාව 121 දක්වා ඉදිරියට ගෙන ගියහ. යළි ක්‍රියාත්මක වූ නුවන් ප්‍රදීප් ලකුණු 2ක් තුළ කඩුලු 2ක් දවා ගනිමින් ඇෆ්ගනිස්තානය යළි පීඩනයට හසු කළේය. නායක ගුල්බඩින් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමින් 6 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ දැමූ ප්‍රදීප්, රිෂාඩ් ඛාන්ගේ ඉනිම ලකුණු 2කට සීමා කළේය. පන්දු 32කට මුහුණදුන් ගුල්බඩින් හතරේ පහර 2ක් සමගින් ලකුණු 23ක් රැස් කළේය.

ඒ සමගින් තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කර ගැනීමට ප්‍රදීප්ට හැකිවිය. ඔහු ලකුණු 31කට කඩුලු 4ක් දවාගත් අතර මින් පෙර ලකුණු 34කට කඩුලු 4ක් දවා ගැනීම ඉහළම දක්ෂතාව විය.

ලකුණු 57කට කඩුලු 5ක් බිඳ වැටී තිබියදී පිටියට පිවිසි නජිබුල්ලා හුදෙකලා සටනක නිරත වෙමින් ලකුණු 43ක් රැස්කළද ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය. 9 වැනි කඩුල්ල ලෙස දුවද්දි දැවී යෑමට හසුවන විට පන්දු 56කට මුහුණදුන් ඔහු හතරේ පහර 6ක් එල්ල කර තිබිණි.

8වැනි කඩුල්ලට දවුලාත් සද්‍රාන් (6) සහ අවසන් කඩුල්ල ලෙස මුජීබුර් රහ්මාන් (6) දවා ගැනීමට මාලිංග සමත්වීමත් සමග ශ්‍රී ලංකාවට ජය හිමිවිය.

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන පිලේ ආරාධනයෙන් දිමුත් කරුණාරත්න සමගින් ඉනිම ඇරැඹීමට කුසල් ජනිත් පෙරේරා පිටියට පිවිසියේය.

ලකුණු 92ක සබඳතාවක් පිහිටුවමින් පළමු කඩුල්ලට සාර්ථක ආරම්භයක් ලබාදීමට දිමුත් සහ කුසල් සමත්වූවත් මැද පෙළ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය හේතුවෙන් ලකුණු 36ක් තුළ ශ්‍රී ලංකා පිලට කඩුලු 7ක් අහිමිවිය.

ලකුණු 30ක් ලබාසිටි දිමුත් දැවී යෑමෙන් අනතුරුව කුසල් ජනිත් සමග එක්වූ ළහිරු තිරිමාන්න පන්දු 52කින් ලකුණු 52ක් සබඳතාවක් පිහිටුවමින් සිටියදී කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදීමෙන් පිටියෙන් ඉවත් කිරීමට මොහම්මඩ් නබි සමත්වූයේ 22 වැනි ඕවරයේ දෙවැනි පන්දුවෙනි. ඒ සමගින් තවත් ලකුණු 5ක් තුළ කඩුලු 4ක් අහිමි කරමින් ශ්‍රී ලංකා පිල අසීරු තත්ත්වයකට ඇද දැමීමට නබි ප්‍රමුඛ ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 25ක් රැස්කළ තිරිමාන්න ඊයේ ලකුණු 6ක් රැස් කිරීමත් සමගින් එක්දින ලකුණු 3000 සීමාවට පිවිසියේය. තිරිමාන්න සමගින් තවත් කඩුලු 2ක් එම ඕවරයේදීම බිඳ දැමීමට නබිට හැකිවිය.

ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැති පුහුණු තරග ද්විත්වයේ මෙන්ම නවසීලන්තය සමග පැවැති පළමු තරගයේදීත් අසාර්ථක වූ කුසල් මෙන්ඩිස්ට ඊයේ ලබාගත හැකිවූයේ ලකුණු 2ක් පමණි. නබි යැවූ 22 වැනි ඕවරයේම 4 වැනි පන්දුවෙන් මෙන්ඩිස් දැවී ගිය අතර එම ඕවරයේ ඉතිරි පන්දු 2කට මුහුණදුන් ඇන්ජලෝ මැතිව්ස් දුර්වල පහරකින් කඩුල්ල පූජා කළේය.

පළමු ස්ලිප්හී පන්දු රකිමින් සිටි රහ්මත් ෂා වෙත උඩ පන්දු ලබාදෙමින් මේ දෙදෙනාම දැවී ගියහ.

තවත් ලකුණු 3ක් එක්වීමෙන් අනතුරුව ධනංජය ද සිල්වා, හමීඩ් හසන් වෙත කඩුල්ල පිරිනැමුවේ ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමටත් පෙරය.

ලකුණු 144කට එක් කඩුල්ලක්ව තිබී ලකුණු 149 යේදී කඩුල 5ක් අහිමිවූ ශ්‍රී ලංකා ඉනිමට තවත් ලකුණු 10ක් එක්වෙද්දී අනවශ්‍ය ලකුණක් කරා යෑමට උත්සහ කිරීමෙන් තිසර පෙරේරාටද පිටියෙන් ඉවත් වීමට සිදුවිය. ඔහු රැස් කළේ ලකුණු 2ක් පමණි.

මුළු ලකුණු 159දී තිසර පෙරේරා දැවී ගිය අතර තවත් ලකුණු 19ක් එක්වෙද්දී ඉසුරු උදානත් ඉන් ලකුණු 2කට පසු කුසල් ජනිත්ගේ ඉනිමත් නිමාවට පත්විණි.

පන්දු 21කින් ලකුණු 10ක් ලබාසිටි උදාන, දවුලාත් සද්‍රාන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය අතර හුදෙකලා සටනක නිරතවූ කුසල් ජනිත් රෂීඩ් ඛාන්ගේ පන්දුවක් හමුවේ මොහම්මඩ් ශසාඩ් උඩ පන්දුවක් රැක ගැනීමෙන් දැවී ගියේය. පන්දු 42කින් 12 වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් දැවී යනවිට ලකුණු 78ක් රැස්කර තිබිණි. පන්දු 81කට මුහුණදුන් ඔහු හතරේ පහර 8ක් ඉනිමට එක්කර ගත්තේය.

ශ්‍රී ලංකා ඉනිමේ ඕවර 33කදී තරගයට වර්ෂාවෙන් බාධා වීම හේතුවෙන් පැය 2කට ආසන්න කාලයක් තරගය නතර කෙරිණි. දෙපිලටම ඕවර 9 බැගින් අඩු කරමින් යළි තරගය ආරම්භ වූ අතර කඩුලු 8ක් දැවී සිටි ශ්‍රී ලංකා පිලට අවසන් කඩුලු 2 සඳහා ඕවර 3.5කදී රැස්කරගත හැකිවූයේ ලකුණු 19ක් පමණි.

වර්ෂාවෙන් පසු යළි පිටියට පිවිසි ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සුරංග ලක්මාල් සහ ලසිත් මාලිංග 9 වැනි කඩුල්ලට ලකුණු 19ක් එක්කරමින් ලකුණු පුවරුව 200 සීමාවට රැගෙන ගියහ.

ලක්මාල් පන්දු 13කින් නොදැවී ලකුණු 15ක් රැස්කළ අතර මාලිංග ලකුණු 4කටත්, නුවන් ප්‍රදීප් ලකුණු නොලබාත් දැවී ගියහ.

ඊයේ තරගයේදී ශ්‍රී ලංකා පිල එක් වෙනසක් සිදු කරමින් තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් වෙනුවට වේග පන්දු යවන නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා තිබිණි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු තරගයට ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව මේ තරගයටද එක්කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − five =