භේද නැතුව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස මවුබිම අභිවෘද්ධිය කරා ගෙන යමු – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ඉස්ලාම් දහම තුළ පවතින ආධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් උත්සව සමය කදිම අවස්ථාවක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාමලාන් දින සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියි.

අග්‍රාමාත්‍යවරයාගේ රාමසාන් දින සුභ පැතුම් පණිවුඩය-

ඉස්ලාම් දහම තුළ පවතින අධ්‍යාත්මික හර පද්ධතිය මෙන්ම මානව හා සමාජ වටිනාකම් මැනවින් හඳුනා ගැනීමට රාමසාන් උත්සව සමය කදිම අවස්ථාවකි.දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ ජීවත් වන මුස්ලිම් ජනතාව එම ආගමික වටිනාකම් ඔස්සේ ජීවිතය ගත කළ ආකාරය අපි අත්දැක ඇත්තෙමු.

මාසයක් පුරා උපවාස ශීලය ආරක්ෂා කර, නව සඳ බැලීමෙන් පසුව සමරන රාමසාන් දිනය හෙවත් ඊදුල් ෆීතර් උත්සවය පරිත්‍යාගශීලීත්වයේ, සමානාත්මතාවයේ මාහැඟි පණිවිඩය ලොවට ගෙන එන ඉතා වැදගත් ආගමික උත්සවයකි. තණ්හාව, ආශාව, ආත්මාර්ථය ආදී දුර්ගුණ දමනය කර, මනුෂ්‍යත්වය, පරිත්‍යාගශීලීත්වය වැනි යහගුණ ඉස්මතු කිරීමට මෙහිදී ප්‍රමුඛ අවධානය යොමු වේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ මුස්ලිම් ජනසමාජයෙන් ඉතා සුළු පිරිසක් තම දහම තුළ පවතින මෙම උතුම් හර පද්ධතීන් බැහැර කරමින් අන්තවාදය දෙසට ඇදී යෑමේ භයානක ප්‍රතිඵලය. ඉස්ලාම් දහමේ සැබෑ හරය පළුදු කරන මෙම අන්තවාදීන් සම්බන්ධව අවධානයෙන් සිටින ලෙස සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගෙන් මම ඉල්ලා සිටිමි.

ජාති, ආගම් භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකික ජනතාවක් ලෙස එක්සත්ව අපි මවුබිම අභිවෘද්ධිය කරා ගෙන යමු. නිදහස, සමානාත්මතාව, මානව ගරුත්වය රජයන සමාජයක් ගොඩනංවන්නට අපි සැම කැපවෙමු.

ශ්‍රී ලාංකික මෙන්ම සමස්ත ලෝ වැසි සහෝදර මුස්ලිම් ජනතාවට සාමය, සංහිඳියාව සපිරි ප්‍රීතිමත් රාමසාන් උෙලළක් වේවායි හෘදයාංගම සුභාශිංසන පිරිනමමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =