මෙවර පොසොන් ඉහළ මට්ටමින් සැමරීමට රජයේ පූර්ණ අනුග්‍රහය

(කොළඹ, ලංකාපුවත්) – ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් පොසොන් උත්සවය පෙර සිරිත් අනුව ඉතා ඉහළ මට්ටමින් පැවැත්වීම සඳහා රජය පූර්ණ අනුග්‍රහය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අරලියගහ මන්දිරයේ දී අද (05) පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා පැවසූයේ දිවයිනේ සියළු පාළාත්වල පොසොන් උත්සවය උත්කර්ෂවත් ලෙස සැමරීම සඳහා සියළු සැලසුම් දියත් කර ඇති බවය.

අනුරාධපුරය කේන්ද්‍ර කොටගෙන පැවැත්වෙන පොසොන් උත්සව කටයුතු සඳහා ලක්‍ෂ දහයකට අධික බැතිමතුන් පැමිණෙනු ඇතැයි අපේක්‍ෂා කරන අතර ඒ වෙනුවෙන් සියළු පහසුකම් සංවිධානය කර ඇති බවද මේ සාකච්ඡාවේදී අනාවරණය කෙරිණි.

වෙසක් උත්සවය වෙනුවෙන් ඉදි කිරීමට නියමිතව තිබූ තොරණ් ගණනාවක් එවක පැවති ආරක්‍ෂක තත්වය මත ප්‍රදර්ශනය නොකෙරුණද, ඒ සියල්ලම පාහේ පොසොන් උත්සවය වෙනුවෙන් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලීමට පොලීසිය ඇතුළු ආරක්‍ෂක අංශ කටයුතු කරනු ඇත.

මේ අවස්ථාවට එක් වෙමින් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසූයේ දිවයිනේ සියළුම දිසා ලේකම් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ජූනි 13 වන දා රාත්‍රියේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා සහ පසුදා සංඝගත දක්‍ෂිණාවන් පොසොන් උළෙල වෙනුවන් පැවැත්වීමට කටයුතු කරන බව ය.

ජූනි 10 වන දා සිට 16 වන දා දක්වා රජයේ සියළු ගොඩනැගිලි පොසොන් සතිය වෙනුවෙන් සැරසිලි කොට අලංකෘත කරලීමට ද පියවර ගන්නා බව අබේවර්ධන මහතා පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසූයේ ප්‍රාදේශීය වශයෙන් පාසැල් කේන්ද්‍ර කොට ගෙන ධර්ම දේශනා හා ශීල ව්‍යපාර සංවිධානය කෙරෙන බවය. මේ සඳහා වූ චක්‍රලේඛනය හෙට (06 වන දා) නිකුත් කරන බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මහා සංඝරත්නයේ උපදෙස් පරිදි ජූනි 14 වන දා අරලියගහ මන්දිරයේදී පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහභාගීත්වයෙන් මහා ශීල ව්‍යාපාරයක් පවත්වන බවද කාරියවසම් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
ජාතික තරුණ සේවා සභාව මගින් මහරගම පොසොන් කලාපයක් සංවිධානය කෙරෙන අතර, දිවයින පුරා තරුණ තරුණියන්ගේ සහභාගීත්වයෙන් විශේෂ වැඩසටහන් පෙළක් ද ක්‍රියාත්මක කරලීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − 8 =