සැකයේ අඳුර දුරු කර සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගනිමු – ජනාධිපති

(කොළඹ, ලංකාපුවත්) – විශ්වාසය, උපවාසය, පරිත්‍යාගය, නැමදීම සහ වන්දනාව යන ප්‍රධාන ස්තම්භයන් මත ඉස්ලාම් දහම ගොඩනැඟී ඇතැයි රමලාන් උළෙල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමා නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ තවදුරටත් මෙසේ ද සදහන් වේ.

එකී දහම අදහන බැතිමතුන් පුර චන්ද්‍ර මාසයක උපවාස කාලයක් නිමාකොට සමරන රාමලාන් උෙලළ වෙනුවෙන් සුබපැතුම් එක් කරනුයේ හෘදයාංගමවය.

ලෞකික ආශාවන්ගෙන් ඉවත්ව ආගමික වත්පිළිවෙත් පුරමින්, දිළින්දන් හා අසරණයන් වෙනුවෙන් තම ඉපැයුම් පරිත්‍යාග කරමින් ඉස්ලාම් බැතිමතුන් ගෙවන මේ උපවාස කාලය දකුණු ආසියාතික සියලු ආගමික දර්ශනවල ලෝකෝත්තර අරමුණු හා ඔවුන් සමීප කරවයි.

අනෙකාගේ කුසගින්නේ වේදනාව අත්විඳීමෙන් උගෙන, පරිත්‍යාගයෙන් ඔවුන් හා බැඳෙන්නට පුහුණු කරවන දහමක ඇසුර ලබන සමාජයක් පොදු මිනිස් වර්ගයා හට තිළිණයකි.

ලොව පවතින සියලු ආගමික දර්ශන හෝ ආගමික ඇදහිලි අපට හමුවනුයේ මිනිස් ශිෂ්ටාචාරයේ දිගු ගමන් මඟක් අතරතුරිනි. එනම් මනුෂ්‍යත්වයේ පොදු රැහැන පවතිනුයේ ආගම ලබ්ධීන්ට බොහෝ එපිටිනි. අනෙකාගේ මනුෂ්‍යත්වයේ උදාර බවට ගරු කරන්නට උගන්වන කවර හෝ දහමක් මනුෂ්‍යත්වයේ පොදු රැහැනින් වෙන් වන්නට තම මිනිස් සමූහයට මඟ නොපෙන්වයි. ඉස්ලාම් දහමද එබඳුය.

එවන් දහමක පිළිවෙත් පුරමින්, උපවාස ශීලය රැක පරිත්‍යාගයෙන් තම මනුෂ්‍යත්වය පූර්ණ කොට ගනිමින් අද දින රාමලාන් සමරන සියලු ඉස්ලාම් බැතිමතුන්ට ප්‍රීතිමත් රාමලාන් උෙලළක් ප්‍රාර්ථනා කරන අතර අප වටා රැඳී ඇති අවිශ්වාසයේ සහ සැකයේ අඳුර දුරු වී සහෝදර මිනිසුන් ලෙස අත්වැල් බැඳ ගැනීමට හැකි අනාගතයක් වෙනුවෙන් ඔබ සියලු දෙනා යාච්ඤා කරනු ඇතැයි අපේක්ෂා කරමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *