තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරක තහනම ඉවත් කරයි

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා දිනයේ මෙරට කතෝලික දේවස්ථාන සහ ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව තවත් රටවල් රැසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ස්විට්සර්ලන්තය, ජර්මනිය, ස්වීඩනය, එක්සත් රාජධානිය, ප්‍රංශය, බෙල්ජියම සහ නෙදර්ලන්තය සිය පුරවැසියන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පැවැති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සංචාරය කිරීමෙන් වැළකී සිටින ලෙස ලෝකයේ රටවල් රැසක් ඒ ඒ රටවල පුරවැසියන් වෙත නිවේදන නිකුත් කැර තිබූ නමුත් අද වනවිට රටේ පවතින යහපත් ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙලෙස සංචාරයට කිසිඳු බාධාවක් නොමැති බවත් සංචාරයට හිතකර වාතාවරණයක් පවතින බවත් සඳහන් කරමින් එම තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.

ශ්‍රී ලංකාව සංචාරක ආකර්ශනීය රටක් බව සනාථ කරමින් ලොව හොඳම සංචාරක ගමනාන්තය ‘සංචාරයට අනර්ඝතම’ අංක එකේ රට ලෙස මේ වසරේ මුල් භාගයේ දී ලෝකයේ ජනප්‍රියම හා සංචාරකයින්ගේ වැඩිම ඉල්ලුමක් සහිත ලොව විශාලතම සංචාරක මඟ පෙන්වීම් පොත් ප්‍රකාශයා ලෙස හැඳින්වෙන ‘ලෝන්ලි ප්ලැනට්’ ප්‍රකාශයට පත්කරන ලදී.

එහි නවතම වාර්තාවට අනුව 2019 වසරේ සංචාරය කිරීමට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්වූ අතර මේ තත්ත්වය යළි අත්කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව දැනටමත් සැලසුම් සකස් කැර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *