පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් සමග සබදතා පැවැත්වූවන් සොයා තමිල්නාඩුවේ පරීක්ෂණ

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රෙල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ අයි එස් සාමාජිකයන් සමග සබඳතා පැවැත්වූ බව කියන පුද්ගලයන් රැඳී සිටි බවට විශ්වාස කෙරෙන ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ස්ථාන 07 ක් ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ආයතනය (NIA) විසින් පරීක්ෂා කර ඇත.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 21 දෙනෙකු අයි එස් සංවිධානය සමග සම්බන්ධවීමට ඇෆ්ඝනිස්ථානය බලා පිටත්ව ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

එසේම පාස්කු ඉරිදා සැකකරුවන්ට ඉන්දීය සබඳතා තිබුණේදැයි විමර්ශනය සදහා ඉන්දීය ජාතික බුද්ධි විමර්ශන ආයතනයේ නිළධාරීන් දෙදෙනෙකු පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය ඉරිදා ශ්‍රී ලංකාවට පැමිණි අතර ශ්‍රී ලංකාවේ ජනතාවට සහයෝගය පල කරමින් පාස්කු ප්‍රහාරයේ දී එක් පිපිරීමක් සිදු වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය බැලීමට ද පැමිණියේය.

ශ්‍රී ලංකාව යළිත් නැඟිටින බව ඉතා විශ්වාස බවත් බියගුළු ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආත්මය පරාජය කළ නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ජනතාව සමග සහයෝගීව කටයුතු කරමින් සිටින බවත්, අප්‍රේල් 21 වන දින පාස්කු ඉරිදාට පසුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු විදේශීය නායකයා ලෙස මෝඩි අගමැතිවරයා පැවසීය.

ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවෙන් පුද්ගලයින් 250කට අධික පිරිසකට දිවි අහිමි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *