මාස පහට HIV ආසාදිතයන් 171ක්

(කොළඹ, ලංකාපුවත්) –වසරේ ගත වූ මාස පහ තුළ එච්.අයි.වී. ආසාදිතයන් එකසිය හැත්තෑඑක් දෙනෙකු මෙරටින් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය පැවසුවාය.

මේ වන විට මෙරට සිටින එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව තුන්දහස් දෙසියකට අධික බවත් එම හඳුනාගත් රෝගීන්ට ප්‍රධාන වශයෙන් එච්.අයි.වී. සම්ප්‍රේෂණය වී ඇත්තේ ලිංගිකව බවත් ඇය සඳහන් කළාය.

මීට පෙර සියයට 44ක් ද්විලිංගික සම්ප්‍රේෂණ මගින් ඒඩ්ස් වැළඳී ඇති අතර සමලිංගික සම්බන්ධතාවලින් සියයට 41ක් වැළඳී තිබේ. මුල් කාලයේදී ඒඩ්ස් වසංගතය ද්විලිංගික සම්ප්‍රේෂණය මගින් ශීඝ්‍රයෙන් පැතිර ගිය අතර මේ වන විට එම තත්වය හාත්පසින්ම වෙනස් වී සමලිංගික සබඳතාවලින් පැතිර යාමේ වැඩි ප්‍රවණතාවක් තිබේ. වෙනත් රෝගවලදී මෙන් රෝගය වැළඳුණු සැණින් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන මෙහි රෝගය හඳුනාගත හැක්කේ රුධිර පරීක්ෂාවකින් පමණි. රුධිර පරීක්ෂණ සිදු කිරීම සායනවලදී නොමිලේ සපයන බවත් රජයේ රෝහල්වලද රුධිර පරීක්ෂාව සිදු කරන බවත් එහිදී වෛද්‍යවරිය සඳහන් කළාය. එසේම ප්‍රජාවේ සිටින අවදානම් කණ්ඩායම් හා දැඩි අවදානම් කණ්ඩායම් හඳුනා ගනිමින් දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. විනාඩි විස්සක් වැනි කෙටි කාලයකදි ඒඩ්ස් හඳුනා ගැනීමේ පරීක්ෂණයක් ඇති අතර එය ප්‍රජාව වෙත ගොස් සිදු කරන බවද ඇය සඳහන් කළාය.

එසේම ඒඩ්ස් පරික්ෂා කිරීම සඳහා මොබයිල් රසායනාගාරයක් ඇති අතර එමඟින්ද යම් යම් ස්ථාන වෙත ගොස් රුධිර පරීක්ෂා කිරීම් කෙරේ. මේ අනුව ජනතාව ඒඩ්ස් රෝගය පිළිබඳව අනියත බියක් ඇති කර ගත යුතු නැති බවත් ඒඩ්ස් වැළඳුණු පුද්ගලයකු සමාජයෙන් ඈත් කර තිබිය යුතු නැති බවත් විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා ජයකොඩි මහත්මිය සඳහන් කළාය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *