දේශීය බී ළූනු ගොවියාවෙනුවෙන් ඇමතිගෙන් දැඩි තීරණයක්

(කොළඹ, ලංකාපුවත්) –දේශීය බී ළූනු ගොවියාගේ අස්වැන්න මිලදී නොගන්නා ආනයනකරුවන් මින් ඉදිරියට බීළූනු ආනයනය සඳහා අවසර නොදෙන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති පී. හැරිසන් මහතා පවසයි.

එම ගොවීන් සහ ආනයනකරුවන් අතර ඉදිරියේ දී පොදු ගිවිසුමකට එළඹෙන බවත්,ඒ අනුව ආසන්න වශයෙන් එක ආනයනකරුවකු ගොවීන් 10දෙනකුට වැඩි පිරිසකගෙන් බී ළූනු තොග මිලදී ගත යුතු බවත් ඇමැතිවරයා කියයි.

‘රටේ බී ළූනු ගොවියාගේ මැසිවිල්ලක් තියෙනවා හැමදාමබී ළූනු විකුණගන්න බෑ කියලා. නමුත් මේ තත්ත්වය උදා වුණේ කොහොමද කියලා අපි හොයා බැලුවා. මෙතෙක් පැවති රජයන් බී ළූනු ගොවියා අස්වැන්න නෙලන කාලයට පිටරටින් ගෙන්වන්න අවසරය ලබා දෙනවා. රටේ දේශීය බී ළූනු වෙනුවට විදේශීය බී ළූනු වෙළෙඳපොළට එනවා. ගොවියා අමාරුවේ වැටෙනවා. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට තීරණයක් ගත්තා, අපේ රටේ බී ළූනු වගාව ආරම්භ කරන සමයේම බී ළූනු සඳහා ආනයන බදු වැඩි කරන්න.

ආනයනික බී ළූනු කිලෝවක මිල දැන් රුපියල් 12ක් . අපි රුපියල් 40ක් බදු වැඩි කළා. අපේ රටේ දේශීය බී ළූනු කිලෝවක මිල රුපියල් 80යි. එහෙම වූණාම වැඩි මිලට බී ළූනු ආනයනය කරලා වැඩක් නෑ. අපේ රටේ වෙළෙන්ඳන් මේ නිසා දේශීය බී ළූනු ආනයනය කරන්න පටන් ගන්නවා.

බී ළූනු මෙරටට ආනයනය කරන තොග වෙළෙදුන් 100ක් පමණ වනවා.බී ළූනු වගා කරන ගොවින් 1000කට වැඩි පිරිසක් ඉන්නවා. අපේ රටේ අස්වැන්න නෙලන කාලයට මේ ආනයනකරුවන් දේශීය බී ළූනු අස්වැන්න මිලදී ගත යුතුයි. එසේ නොකරන අයට එරෙහිව නීත්‍යානූකූලව කටයුතු කිරීමටත්, ආනයනය කිරීමට අවසර නොදීමටත් කටයුතු කරනවා. එමඟින් දේශීය බී ළූනු ගොවියා ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති බව අපි අපේක්ෂා කරනවා.’යැයිද ඇමැතිවරයා අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + 9 =