එජාප පාක්ෂිකයන් 5000කට අධික පිරිසක් මන්ත‍්‍රී කබීර් හෂීම් හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) – කෑගල්ල දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පාක්‍ෂිකයන් 5000 කට අධික පිරිසක් පසුගියදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී කබීර් හෂීම් මහතා හමුවීමට ඔහුගේ මාවනැල්ල පිහිටි කාර්යාලය ඉදිරිපිටට පැමිණ තිබුණි.

ගරුතර ස්වාමීන්වහන්සේලා පෙරටුකරගත් සර්ව ආගමික නායකයින් සමග කෑගල්ල දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ සංවිධායකවරුන් වන ලිලාන් අමරකෝන්, හිටපු පළාත්සභා මන්ත‍්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර, එක්සත් ජාතික පක්‍ෂ දිස්ත‍්‍රික් කළමනාකරු ඞී. සී. විජේවර්ධන යන මහත්වරුන් ඇතුළු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් කාර්යාලය තුළට පැමිණ මන්ත‍්‍රීවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. එනම් රට පත්ව තිබූ අර්බුදකාරී අවස්ථාවේ රට වෙනුවෙන් සිතා තනතුරු අත්හැරීම සාධාරණ නමුත් මේ අවස්ථාව වනවිට එම කැපවීමේ ප‍්‍රතිඵලය ජනතාවට ලැබී ඇති හෙයින් කෑගල්ල ජනතාවගේ ජනවරමට ගරු කරමින් නැවත ආණ්ඩුවේ වගකීම් භාරගෙන පක්‍ෂයේත් කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පක්‍ෂය සමග සිටි ජනතාවගේත් මෙන්ම සමස්ථ රටවැසියාගේත් බලාපොරොත්තු සහ ඔවුන්ට ඉටුවිය යුතු යුතුකම් ඉටුකරන මෙන් ඉල්ලා සිටියේය. එහිදී ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ පසුගියදා මේ සම්බන්ධයෙන් ගරුතර මහානායක ස්වාමීන්වහන්සේලා විසින් කරන ලද අනුශාසනය පිළිබඳව ද අවධානය යොමුකරන ලෙසයි.

2015 ජනාධිපතිවරණය ජයග‍්‍රහණය වෙනුවෙන් කෑගල්ල දිස්ත‍්‍රික්කයට නායකත්වය ලබාදී රටේ මහත් පිබිදීමක් ඇතිකරවීමට උරදුන් සේම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයද ජයග‍්‍රහණය කරවීමට අවශ්‍ය කඩිනම් මැදිහත්වීම ලබාදෙන මෙන් ද ඔවුන් තවදුරටත් ඉල්ලා සිටියේය.

ඔවුන්ගේ එම ඉල්ලීම පරිදි කාර්යාලයෙන් පිටතට පැමිණි කබීර් හෂීම් මන්ත‍්‍රීවරයා පැමිණ සිටි දහස් සංඛ්‍යාත ජනතාව අමතා මෙසේ ප‍්‍රකාශ කළේය.

‘‘ඔබට මගේ අත්දෙක එකතුකර ව`දිනවා. මගේ ගෞරවය හා ස්තූතිය ඔබ සැමට පුද කරනවා. මට ලබාදුන් සියලූ තනතුරු, සියලූ වගකීම් සියල්ල හිමිවෙන්නේ ඔබ සියලූ දෙනාටයි. කෑගල්ල දිස්ත‍්‍රික්කයට මේ හැම දෙයක්ම දිනාගැනීමට හැකිවුණේ ඔබලා නිසයි. එමනිසා ඒවායේ අයිතිකරුවන් වන්නේ ඔබලායි, මම නොවෙයි. මගෙන් අඩුවක් වෙලා ඇති, ඒ තීන්දුව ගන්නනොට ඔබෙන් අවසර ගන්න බැරිවීම ගැන. ඒත්… මා දීර්ඝ ලෙස කල්පනා කර මා ගන්න තීන්දු තීරණ පොදු යහපත සඳහා, ජනතාවගේ යහපත සඳහා රට වෙනුවෙන් ගත්ත තීන්දුවක් කියන ඒක මගේ හෘද සාක්‍ෂියට සහතික කර ගැනීමෙන් පසුවයි එම තීන්දුව මම ගත්තේ. මම කිසිම බලවේගයකට යටත්වෙන පුද්ගලයෙක් නොවෙයි. මගේ රට පළමුවෙන් තියාගෙන, ඒ මොහොතේදී ගිණි ඇවිලෙන අවස්ථාවකයි රට වෙනුවෙන් ඒ තීන්දුව ගත්තේ. දෙවනුව මගේ පක්‍ෂයයි, මගේ ප‍්‍රජාවයි ගැන හිතලා රටේ පොදු යහපත ගැන හිතලා මා ගත්ත තීන්දුවක් බව කිව යුතුයි. ඊයේ දින අතිගරු මහානායක හිමිවරුන් බැහැදැකීමට මට හැකිවුණා. මම දීර්ඝ ලෙස උන්වහන්සේලා සමග සාකච්ඡුා කළා. උන්වහන්සේලාගේ අවවාද, අනුශාසනා, උපදෙස් මත ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිස්ත‍්‍රික්කයේ ජනතාව ලෙස ඔබලා ගැන දිගටම කල්පනා කලා.

අපි අවුරුදු 5කට ආණ්ඩුවක් ගත්තේ. ගත්ත දවසේ ඉඳලම අභියෝග තිබුණා. ස්වභාවික විපත්වලටත්, විපක්‍ෂයෙන් ආ අභියෝගවලටත් රජය මුහුණ දුන්නා. අපේ ජනතාවට සාධාරණයක් ඉටුකිරීම සඳහා මේ රජයට යම් යම් බාධා ඇතිවුණා. මෙතැත රැුස්වී සිටින ජනතාවගෙන් තවම සාධාරණයක් ඉටුනොවුණ අයත් සිටිනවා. ඒක මට අමතක කරන්න බෑ. ඔබලා ඒ සියල්ල නොතකා මේ ස්ථානයට ආවා. අප රට, අපේ දිස්ත‍්‍රික්කය, අපේ ප‍්‍රදේශය වෙනුවෙන් ඉල්ලීමක් කිරීමට පැමිණීම ගැන මා ස්තූතිය පුද කරනවා.

ඔබලාගේ හිත විතරක් පුරවලා යන එක මදි. හිත පුරවන්න මගේ වචනවලින් පුළුවන්. නමුත් පසුගිය මාස කිහිපය තුල පැය 24ම වැඩ කරමින් අපේ ගම්වල පන්සල්, පල්ලි, කෝවිල්, ප‍්‍රජාශාලා, ග‍්‍රාමීය මාර්ග, පාසැල් ඇතුළු සෑම ක්‍ෂේත‍්‍රයකටම අවුරුදු ගණනකින් නොකළ වැඩ කිරීමට ආරම්භ කර තිබෙනවා. අළුතෙන් සමෘද්ධිය දීම ආරම්භ කර තිබෙනවා. මට ඉතිරිව තිබෙන්නේ ඔබලාගේ දරුවන්ට රැුකී රක්‍ෂා ලබාදීමයි. මගේ අන්තිම හුස්ම යනකල් මා පොරොන්දු වෙනවා ඔබට ඒ සේවය ඉටුකරන බවට. හිත පමණක් පුරවන් නැතුව ඔබලාගේ අත්දෙකත් පුරවන්න මම සහතික වෙනවා.

මම ඔබගේ මහජන සේවකයා. එබැවින් අපට තව මාස 6ක් මැතිවරණයක් වෙනුවෙන් තියෙනවා. එම මාස කීපය තුළ අපගේ මන්ත‍්‍රී කණ්ඩායම සමග එක්ව එම යුතුකම් ඉටුකරන්න කටයුතු කරනවා. ඊට සැලැස්මක් අපට තියෙනවා. 2014 ගරු නායකතුමාගේ ඉල්ලීමක් මත අප එකතුවෙලා වැටුණු එක්සත් ජාතික පක්‍ෂය නැගිටුවන්න ජනජය වැඩසටහන ක‍්‍රියාත්මක කරමින් වසරක් තුළ එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කළ අපේක්‍ෂයා ජයග‍්‍රහණය කරවීමට කටයුතු කළා. එක්සත් ජාතික පක්‍ෂ සභාපතිවරයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපතිවරයෙක් පත්කිරීමට අවශ්‍ය වැඩපිළිවෙල සිදුකරනවා. ඒ කාර්යය ඉටුකරලයි නැවත හැරිලා බලන්නෙ. ඔබලාගේ ඉල්ලීම අනුව එක්සත් ජාතික පක්‍ෂය සමග තම සේවාව ඉදිරියටත් ලබාදීමට කටයුතු කරනවා

අතිගරු මහානායක ස්වාමීන්වහන්සේලාට මේ අවස්ථාවේදී මගේ විශේෂ ස්තූතිය පුදකර සිටිනවා. උන්වහන්සේලාගේ මැදිහත්වීම නිසා ඇවිලෙන්න තිබූ ගින්නක් වලක්වා ගැනීමට හැකිවුණා. ශ‍්‍රී ලාංකිකයෙක් හැටියටත් මුස්ලිම් ප‍්‍රජාව වශයෙනුත් අතිගෞරවණීය මහානායක හිමිවරුන්ට අපගේ ගෞරවය නැවතත් පුදකරනවා.

විනයක් ඇති පක්‍ෂයක් ලෙස, එක්සත් ජාතික පක්‍ෂය ලෙස මම ඉල්ලා සිටින්නේ ඔබ සියලූ දෙනාම ඉතා සාමකාමීව විසිර යමින් රටට අවශ්‍ය සහය ඉදිරියටත් ලබාදෙන ලෙසයි. ඔබගේ ඉල්ලීමට හිස නමමින් ඉදිරියේදී මා කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *