පාකිස්තානය පරාජය කළ ඉන්දියාව තෙවැනි තැනට

(කොළඹ, ලංකාපුවත්) –පාකිස්තානය සමග ඊයේ මැන්චෙස්ටර්හිදී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 89ක ජයක් අත්කර ගැනීමට ඉන්දියාව සමත් විය. මේ සමගින් ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි තැනට ඒමට ඉන්දියාවට හැකිවිය.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලු 5ක් දැවී ලකුණු 336ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය පාකිස්තාන ඉනිමේ 35 වැනි ඕවරය නිමාවීමත් සමග තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය. ඒ වනවිට ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 166ක් රැස්කර තිබිණි. ඕවර 40කට (ලකුණු 302 ඉලක්කයක්) සීමා කරමින් තරගය යළිත් ආරම්භ වූයේ පාකිස්තානයට ඉතිරි ඕවර 5 තුළදී ලකුණු 136ක ඉලක්කයක් සමගිනි. එම ඕවර 5 තුළ ඔවුන්ට ලබාගත හැකිවුයේ ලකුණු 46ක් පමණි.

ඉමාඩ් වසීම් පන්දු 39ක් නොදැවී ලකුණු 46ක් සහ ෂදාබ් ඛාන් නොදැවී ලකුණු 20ක් රැස් කළහ.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඉමාම් උල් හක් (13) දැවී යෑමෙන් අනතුරුව සෙමින් ඉනිම ගොඩනැගූ ෆකාර් සමාන්, බාබර් අසාම් සමගින් දෙවැනි කඩුල්ල පන්දු 115කින් ලකුණු 104ක් එක් කළේය. ලකුණු 117ක් වෙද්දී ක්‍රියාත්මක වූ කුල්දීප් යාදෙව් ලකුණු 9ක් තුළ මේ පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩා පිටියෙන් ඉවත් කිරීමට සමත් විය. අසාම් පන්දු 57කින් ලකුණු 48ක් ලබාගත් අතර සමාන් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමගින් පන්දු 75කින් ලකුණු 62ක් රැස් කළේය. මුළු ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 3ක් එක්වෙද්දී පිට පිට පන්දු දෙකකින් මොහොමඩ් හෆීස් (9) සහ සොයිබ් මලික් (0) පිටියෙන් ඉවත් කිරීමට හර්දික් පාන්ඩ්‍යා සමත්වූයේ පාකිස්තාන ලකුණු පුවරුව 129කට කඩුලු 5ක් ලෙස සටහන් කරමිනි. නායක සර්ෆ්‍රාස් අහමඩ් (12), විජේ ශංකර්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේ 6 වැනි කඩුල්ල ලෙසිනි.

විශිෂ්ට ඉනිමක් දියත් කළ ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා මේ තරගාවලියේ දෙවැනි ශතකය රැස් කරමින් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය.

ශිකර් ධවාන් වෙනුවට ඉනිම ඇරැඹු ලෝකේෂ් රාහුල්, ෂර්මා සමගින් පළමු කඩුල්ලට ලකුණු 136ක් කරමින් සිටියදී තෙවැනි අර්ධ ශතකය රැස්කළ රාහුල්ගේ ඉනිම නිමා කිරීමට වහබ් රියාස් සමත් විය. පන්දු 78කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 57ක් ලබා ගත්තේය. අනතුරුව ෂර්මාට එක්වූ නායක විරාට් කෝලි ලකුණු 98ක සබඳතාවකින් මුළු ලකුණු සංඛ්‍යාව 234 දක්වා ඉදිරිය ගෙන ගියේය. හතරේ පහර 14කින් සහ හයේ පහර 3කින් ඉනිම වර්ණවත් කරගත් ෂර්මාගේ ඉනිම පන්දු 113කින් නිමාවනවිට ලකුණු 140ක් රැස් කර සිටියේ සිය 24 වැනි එක්දින ශතකය ලෙසිනි.

හර්දික් පාන්ඩ්‍යා (26) සහ මහේන්ද්‍ර සිං දෝනි (1) අඩු ලකුණු ගණනකට පිටියෙන් ඉවත් කිරීමට සමත්වූ මොහොමඩ් අමීර්, කෝලිගේ ඉනිමද ලකුණු 77කට සීමා කළේය. හතරේ පහර 7ක් සමගින් පන්දු 65කට මුහුණදුන් කෝලි ඊයේ ලකුණු 57ක් රැස් කිරීමත් සමග අඩුම ඉනිම ගණනකදී ලකුණු 11000 පසුකළ පිතිකරු ලෙස වාර්තා පොතට එක්විය. කෝලි මේ සඳහා ඉනිම 222ක් වැය කළ අතර ඉන් පෙර එම වාර්තාවට හිමිකම් කී සචින් තෙන්ඩුල්කාර් ඉනිම 276කදී එම සීමාව පසුකර තිබිණි.

ඉන්දීය ඉනිමේ 47 වැනි ඕවරයේදීත්, පාකිස්තාන ඉනිමේ 35 වැනි ඕවරයෙන් පසුවත් තරගය වර්ෂාව බාධාවක් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *