ලෙබනනයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ ජාවාරමක්

(කොළඹ, ලංකාපුවත්) –ලෙබනන් රාජ්‍යයේ රැකියා ලබාදෙන බව පවසා සංචාරක වීසා මගින් ශ්‍රමිකයින් එරටට ගෙන්වා අතරමං කරන ජාවාරමක් පිළිබදව ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයට තොරතුරු අනාවරණය වී තිබේ.

ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ලෙබනනයේ රැකියා ඇති බව පවසා ඩොලර් දහස් ගණනින් මුදල් ලබාගෙන සංචාරක වීසා මගින් ඔවුන් එරටට ගෙන්වා ගැනීමෙන් අනතුරුව බලාපොරොත්තු වූ පරිදි රැකියා ලබානොදෙන බව තානාපති කාර්යාල නිළධාරීන්ට හෙළි වී තිබේ.

මෙසේ පැමිණෙන ශ්‍රමිකයින් තානාපති කාර්යාලයට පැමිණියද ඔවුන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවීම හේතුවෙන් සහන සැලසීමට නොහැකි තත්වයක් උදා වී තිබේ. එහෙයින් විදේශ රැකියා සදහා යොමුවීමේදී කාර්යාංශයේ ලියාපදිංචිය අනිවාර්යෙන් ලබාගැනීමට කටයුතු කරන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.

ලෙබනන් තානාපති කාර්යාලයට වාර්තා වී ඇති තවත් ජාවාරමක් වනුයේ “සීට්ටු” මුදල් ලබාගැනීමයි. ජාවාරම්කරුවන් සීට්ටු ක්‍රමයට මුදල් ලබාගෙන පළමු වර මුදල් එකතුකර සීට්ටු සංවිධායකයා මුදල් රැගෙන පලායාම සිදුකරයි. මෙවැනි සීට්ටු ක්‍රමයට මුදල් ලබාගැනීම සිදුකරනුයේ කිසිදු ලිඛිත ලියවිල්ලක් ලබාගැනීමකින් තොරව හෙයින් ජාවාරම්කරුවන්ට විරුද්ධව කිසිදු නීතිමය පියවරක් ගත නොහැකිය. එහෙයින් විදේශ රටවල සේවය සදහා ගොස් සිටින ශ්‍රමිකයින්ට මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසු නොවී කල්පනාකාරීව කටයුතු කරන මෙන්ද කාර්යාංශය විදේශගත ශ්‍රමිකයින්ගෙන් සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *