ශ්‍රී ලංකා ප්‍රහාර පිටුපස IS සිටින බවට රුසියාවෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – සිරියාවේ සහ ඉරාකයේ ක්‍රියාකාරීව සිටි ත්‍රස්ත කණ්ඩායමක් වන අයි.එස් සටන්කාමීන් විසින් ශ්‍රී ලංකාවේ පසුගියදා සිදු වූ පාස්කුඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සංවිධාන කර ඇති බව රුසියානු ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේකම් යුරි කොකොව් මහතා පවසයි.

රුසියානු ආරක්ෂක මණ්ඩලයේ 10 වන ජාත්‍යන්තර සමුළුව අමතමින් යූරි කොකොව් මහතා මේ බව ප්‍රකාශ කර ඇතැයි TASS ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත.

ඒ මහතා පෙන්වා දෙන්නේ අදාල ප්‍රහාරය ගෝලීය ජිහාඩ් මතවාදයේ දේශීය ආධාරකරුවන් විසින් සිදු කර ඇති බවට තහවුරු වී ඇති බවයි.

සිරියාවේදී සහ ඉරාකයේදී අයි.එස් සංවිධානය සමග සම්බන්ධ වී පසුව ශ්‍රී ලංකාවට පැමිණි රැඩිකල් කණ්ඩායමක සාමාජිකයින් අදාල පිපිරීම් ප්‍රායෝගිකව සංවිධාන කර ඇති බවද සදහන් කර තිබේ.

යූරි කොකොව් මහතා පවසනුයේ මේ වන විට අදාල ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වල ප්‍රධාන මධ්‍යස්ථානයන් වන්නේ මැදපෙරදිග, අප්‍රිකාව, දකුණ සහ ගිනිකොණ දිග ආසියාව බවයි.

මෙම ත්‍රස්ත තර්ජන යුරෝපා සංගමයට අයත් රටවලට ද අදාල වන අතර නෙදර්ලන්තය, නෝර්වේ ස්පාඤ්ඤය සහ ප්‍රංශය යන රටවල මේ වන විටත් ත්‍රස්ත ප්‍රහාර කිහිපයක් සිදු කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
ඉදිරියේදී ද යුරෝපයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ත්‍රස්ත සංවිධාන නායකයින් අනතුරු අගවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve − two =