අමෙරිකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව තානාපති සූදානම්

(කොළඹ, ලංකාපුවත්) – අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා සබඳතා තම ධූර කාලය තුළ දී සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් හා පුළුල් කිරීමට කටයුතු කරන බව අමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පවසයි.

අමෙරිකා එක්සත් ජනපදය සඳහා නම්කළ ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා මහතා පසුගිය 17වනදා වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී වැඩ භාරගත්තේය. අමෙරිකා එක්සත් ජනපදයේ තානාපතිවරයා ලෙස පත්වීමට ප්‍රථම තානාපති පෙරේරා මැතිතුමා බෙල්ජියම, ලක්සෙම්බර්ග් හා යුරෝපීය සංගමය සඳහා ශ්‍රී ලංකා තානාපතිවරයා විය.

ඒ මහතා වොෂින්ටන් ඩීසී හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණි මොහොතේ දී එහි කාර්ය මණ්ඩලය විසින් ඔහුව සාදරයෙන් පිළිගන්නා ලදී.

එම අවස්ථාවේ දී සභාව ඇමතූ රොඩ්නි පෙරේරා තානාපතිතුමා, දෙරට අතර පවත්නා සබඳතා තම ධූර කාලය තුළ දී විය හැකි උනන්දුවක් දක්වන සියලු ක්ෂේත්‍රයන් ඔස්සේ තවදුරටත් ශක්තිමත් හා පුළුල් වනු ඇති බවට විශ්වාසය පළ කළේය. කැපවීමෙන්, අධිෂ්ඨානයෙන් හා අචල විශ්වාසයෙන් යුතුව තම මාතෘභූමිය වෙනුවෙන් සේවය කිරීම සඳහා වූ තම ව්‍යායාමයන් දෙගුණ කරමින් නැවත වරක් කැපවන ලෙසට එතුමා සියලුම කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය. සත්කාරක රට තුළ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හා අභිලාෂයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව, සෑම විටම ශ්‍රී ලාංකික ප්‍රජාවේ සාමාජිකයන් සමඟ සම්බන්ධතාවය පවත්වා ගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව ද ඔහු අවධාරණය කළේය.

දශක තුනකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකා විදේශ සේවයේ සාමාජිකයෙකුව සිටින තානාපති පෙරේරා මහතා, විදේශ රටවල ශ්‍රී ලංකා දූත මණ්ඩලවල හා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇත.

තානාපති රොඩ්නි පෙරේරා මහතා නිව්යෝක් හි කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ පශ්‍චාත් උපාධියක් ලබා සිටී. ඔහු 2007 මැයි මස දී ඉතාලි ජනරජයේ ජනාධිපතිවරයා විසින් පිරිනැමෙන “ග්‍රෑන්ඩ් උෆීශියාලෙ – ඕර්ඩින් ඩෙලා ස්ටෙලා ඩෙලා සොලිඩැරියේටා” (ඉතාලියේ දී සිවිල් වැසියෙකු සඳහා පිරිනැමෙන ඉහළම සම්මානය වන ‘ඉතාලි සහයෝගීතාවයේ තාරකාවේ ආඥාව පරිදි – උත්තරීතර නිලධාරියා’) යන සම්මානයෙන් ද පිදුම් ලබා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *