ජපන් රැකියා ලැබෙන අවබෝධතා ගිවිසුමට අත්සන්

(කොළඹ, ලංකාපුවත්) –ජපානයෙන් අසීමාන්තික රැකියා අවස්ථා ලැබෙන අවබෝධතා ගිවිසුමට විදුලි සංදේශ.ඩිජිටල් යටිතල පහසුකම්,විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ජපානයේදි ඊයේ (19) අත්සන් තැබීය.

ශ්‍රී ලංකීය ශ්‍රමිකයන් සඳහා ජපානයේ රැකියා අවස්ථා ලබා දීමට, ජපන් රජය ඔවුන්ගේ එකඟතාවය පළ කළ අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුම, ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ සවස 2.30 ට අත්සන් තබනු ලැබුණි. ලංකා රජය වෙනුවෙන්, ඩිජිටල් යටිතල පහසුකම් විදේශ රැකියා සහ ක්‍රීඩා ඇමැතිවරයා ගිවිසුමට අත්සන් තැබූ අතර, ජපන් රජය වෙනුවෙන්, එරට අධිකරණ ඇමැති, ටකාෂි යමෂිටා මහතා අත්සන් තැබී ය.

මෙම ගිවිසුම අනුව, සාත්තු සේවා, ගොඩනැඟලි පිරිසිදු කිරීම, යන්ත්‍ර කොටස් එකලස් කිරීම, කාර්මික යන්ත්‍ර කර්මාන්ත, විද්‍යුත් හා

ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන නඩත්තු, ගුවන් යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්තය, ධීවර හා ජලජ ජීවී වගාව, ආහාර පාන නිෂ්පාදනය සහ ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලාංකිකයන්ට ලැබීමට නියමිතය.

ජපානයේ රැකියා අවස්ථා ලාංකීය ශ්‍රමිකයන්ට හිමිවීමත් සමඟ ජපන් රැකියා ලබා දෙන බවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස් කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *