දේශපාලනඥයන් බෙදී විවේචනයෙන් අනාගත පරපුරට දියුණු රටක් උරුමකර දිය නොහැකියි

(කොළඹ, ලංකාපුවත්) – දේශපාලන පක්ෂ වලට බෙදී එකිනෙකා විවේචනය කරමින් අනාගත පරපුරට දියුණු රටක් උරුම කර දිය නොහැකි බවත් දේශපාලන බේදයකින් තොරව රට ‍ගොඩනංවමින් තරුණ පරපුරට දොරටු විවර කර දිම බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි වසර පහ තුළ රටේ අපනයනය ශක්තිමත් කර නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් සීග්‍ර සංවර්ධනයක් කරා ගෙන යන බවත් අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.

ජේ.ආර් ජයවර්ධන මහතා ගෙන ආ විවෘත ආර්ථික සංකල්පය මත රටට විශාල අපනයන ආදායමක් ලැබූ බව පැවසූ අගමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ඉදිරි වසර පහ තුළ වෙළෙඳ කලාප 50ක් ඇතිකරන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) ලංකා ඛනිජ තෙල් සංස්ථාව සමග ඇතිකරගත් වසර 20ක BOT ගිවිසුමක් යටතේ මැලේසියානු Hyrax Oil Bhd සමාගම මුතුරාජවෙල නව ලිහිසි තෙල් සම්මුශ්‍රණ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ අවස්ථාට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

අපි බලාපොරොත්තු වනවා රටේ සීග්‍ර ආර්ථික දියුණුවක් ඇතිකරන්න. සංචාරක හෝටල් ඇතිකිරිම සදහා මේ වන විට රටපුරා ඉඩම් වෙන්කර තිබෙනවා. තොරතුරු තාක්ෂණික සේවාවන් ඇතිකරනවා, කොළඹ වරාය දියුණු කර කලාපයේ ප්‍රධාන ප්‍රවාහන මධස්ථානය කිරීම අපේ බලාපොරොත්තුවයි. මෙම වැඩකටයුත්ත සීග්‍රයෙන් අපි කරනවා. කර්මාන්තශාලා හැකි පමණින් ගේන්න බලාපොරොත්තු වනවා. දැනට අපි අක්කර 12000ක් කර්මාන්තශාලා සදහා වෙන්කර තිබෙනවා.

අපි දැන් ලැස්තිවෙනවා වසර පහක් සීග්‍රයෙන් යන්න. ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා කළා වගේ සීග්‍ර ආර්ථික දියුණුවක් ඇතිකරන්න. ඉදිරි වසර 05 තුළදි අපිට එය කරන්න පුළුවන් මට එය විශ්වාසයි. අපේ දරුවන්ට හොද අනාගතයක් ලබාදිය යුතුයි. දේශපාලනය ගැන කතාකරලා එක් එක්කෙනාට බැනලා රට සංවර්ධනය කරන්න බෑ. ඒ නිසයි වත්මන් රජය නිහඩව සීග්‍ර සංවර්ධන මාවතකට එළැබී තිබෙන්නේ.

සෘජු විදේශ ආයෝජන සහිත කර්මාන්ත ඇති කිරීම අප රටේ ආර්ථික සංවර්ධනය සදහා ඉතා යහපත් ප්‍රතිඵල ගෙන දෙයි. එබැවින් වර්තමාන රජය මෙවැනි සෘජු විදේශ ආයෝජන ඇතිකිරීමට දිරිගැන්වීම් කරනවා. අද හයිරෙක්ස් ආයතනය මගින් අද නව කර්මාන්තශාලාවක් ආරම්භ කර තිබෙනවා. ආර්ථික වශයෙන් සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය වගේ රටවල් අපිට පසුපසින් සිටියේ. අපි වසර ගණනවක යුද්ධයකට මුහුණ දුන් නිසා ඒ රටවල් අපිව පසුකරගෙන ඉදිරියට ගිහින් තිබෙනවා. එය අපෙන් සිදුවූ වරදක්.

චිනය 1977 අපේ රටට ඇවිත් අපේ කර්මාන්තශාලා බලාගෙන ගිහින් ඔවුන් හැදුවා විශාල කර්මාන්තශාලා. යුද්ධය අවසන් වුණාත් අපි ඉදිරියට ගියේ නෑ. ආර්ථිකය වැඩිදියුණු කළේ නෑ. විශාල ණය අරන් පාරවල් ඇතුළු යටිතල පහසුකම් දියුණු කිරීම කළේ. හැමදාම එසේ ජීවත්වෙන්න බෑ. 2014 වන විට මේ රටට නැවත්ත ණය දෙන්න ජාත්‍යන්තර රටවල් කැමතිවුණා. ඒ රටේ අපනය ආර්ථිකය අපි ඉදිරියට ගත් නිසයි.

ලංකාවේ කර්මාන්ත අනාගතයක් හදන්න අපි නුවර සිට හම්බන්තොට කර්මාන්තශාලා ඉදිකරන්න වැඩසටහන් ක්‍රියාත්මක කළා. හම්බන්තොට වරාය, ගුවන්තොටුපළ ක්‍රියාත්මක වනවා. ඒවා වටා මෙම කර්මාන්ත පුර ඇතිකරන්න පුළුවන්. මේ මුතුරාජවෙල කර්මාන්ත පුරය පුරවන්න වසර 13ක් ගිහින් තිබෙනවා. අපි එද වසර 7න් සීතාවක, බියගම, කටුනායක පිරෙව්වා. පසුගිය රජය කර්මාන්තශාලා ආරම්භ කර තිබෙන්නේ ඉබිගමනින්. එය රටට විශාල පාඩුවක්.

මෙම අවස්ථාව සදහා ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය කබීර් හෂීම්, ඛනිජ තෙල් සම්පත් නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆව්සි, මෙරට මැලේසියානු මහකොමසාරිස් වරයා, හයිරෙක්ස් ඔයිල් සමාගනේ කළමනාකර අධ්‍යක්ෂ ඩැටෝ හසීමහ් සයිනුඩීන් (Dato Hazimah Zainuddin)මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *