පාස්කු ප්‍රහාර වන්දි මිලියන 233ක් මේ වන විට ලබාදීලා

(කොළඹ, ලංකාපුවත්) –පාස්කු දා බෝම්බ ප්‍රහාරය නිසා මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් මිලියන 233.4ක මුදලක් මේවන විට වන්දි වශයෙන් ප්‍රදානය කර තිබෙන බව හානි පූර්ණය සඳහා වන කාර්යයාලයේ අධ්‍යක්ෂ ආනන්ද විජේපාල මහතා පැවසීය.

අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය නිසා කටුවාපිටිය ශුද්ධවූ සෙබස්තියන් මුනිඳුන්ගේ දේවස්ථානය, කොළඹ කොච්චිකඩේ ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය සහ කොළඹ ශැන්ග්‍රීලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි , ට්‍රොපිකල් ඉන් යන හෝටල්වල දී මියගිය පුද්ගලයන් 184ක් වෙනුවෙන් මිලියන 180.7ක් සහ තුවාල ලැබූවන් 399ක් වෙනුවෙන් මිලියන 52.7ක මුදලක් මේ වන විට ලබා දී ඇත.

මේ වනවිට අනතුරට පත් වූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් වෙනුවෙන් අදාළ වන්දි ලබාදීම් සිදුකර තිබෙන බව ප්‍රකාශ කළ අධ්‍යක්ෂවරයා තවමත් මරණයට පත් වූ සමහර පවුල්වල මියගිය පුද්ගලයන් සම්බන්ධ ලිපිලේඛන ලබා ගනිමින් අදාළ කටයුතු සිදු කරමින් පවතින බවත් පැහැදිලි කළේය.

විශේෂයෙන්ම මරණයට පත්වූ පවුල්වල නීතිමය ගැටලු සහ ඊට අදාළ අනිකුත් තත්ත්වයන් නිරාකරණය කිරීමෙන් අනතුරුව එම පුද්ගලයන්ට ද අදාළ වන්දි ලබාදීමේ කටයුතු සිදු කිරීමට හැකි බවත් ඒ අනුව වන්දි ලබා දීමේ කටයුතු මේ වනවිට ක්‍රමයෙන් සිදු කරමින් පවතින බවත් පෙන්වා දුන්නේය.

ප්‍රහාරයෙන් මිය ගිය විදේශීය පුද්ගලයන් 43දෙනා අතරින් ජපන් ජාතික මියගිය පුද්ගලයෙක් සහ තුවාල ලැබූවන් දෙදෙනකුගෙන් තානාපති කාර්යයාල හරහා මේ වනවිට අයදුම්පත්‍ර ඉදිරිපත් කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *