මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ පාසල් දින වැඩසටහන් සාර්ථකයි – ජනපති

(කොළඹ, ලංකාපුවත්) –මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ දිවයින පුරා පාසල් ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් සියල්ල මේ දක්වා සාර්ථක වී ඇති බව ඊයේ (24) නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය.

මෙම මස 26 වැනිදාට යෙදෙන ‘මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප‍්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය’ තේමා කර ගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පෙරේදා (23) සිට ජූලි මස 01 වැනිදා දක්වා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව ඊයේ (24) දිනය පාසල් දිනය ලෙස නම් කර තිබුණි. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මූලිකත්වයෙන් දුම්වැටි, මද්‍යසාර, අනෙකුත් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ප්‍රධාන පාසල් උත්සවය කොළොන්නාව ටෙරන්ස් එන්. ද සිල්වා විද්‍යාලයේදී පැවැත්විණි.

එසේම වැල්ලම්පිටිය සිංහපුර ග්‍රාමයේ ගෙයින් ගෙට ගොස් අත්පත‍්‍රිකා බෙදා හරිමින් මත්ද්‍රව්‍ය මර්දනය හා නිවාරණය පිළිබඳ ගම්වාසීන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් සංවිධානය කර තිබිණි. මේ අතර දිවයිනේ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලද මතින් තොර බවට වූ ප්‍රතිඥාවක් ලබා දීමේ වැඩසටහන් ක‍්‍රියාවට නංවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *