රාජ්‍ය සේවක ඇඳුම් ගැසට් පත්‍රයේ සංශෝධනයක්

(කොළඹ, ලංකාපුවත්) – මහජන ආරක්ෂාව සඳහා පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවෙන ආකාරයට,රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී, රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා වු යෝජනාවට කැබිනට් අනුමැති හිමිව තිබේ.

මෙම යෝජනාව රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ හා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කර ඇත.

රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති ,අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරීන්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් පසුගිය මැයි මස 29 වන දින නිකුත් කර තිබිණි.

එසේ වුවත් එම චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන විෂය බාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති විවිධ නියෝජනයන් අනුව චක්‍රලේඛනය සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් රාජකාරී වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළට පැමිණිමේ දී පිරිමි නිලධාරින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලි ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත් සෑම විටම නිලධාරිනියගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු බවත් ඇතුළු විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *